වන මලක අසිරිය

දුවති සමහරු කලබලේ
පෙන්වමින් තම සතු බලේ
සිනාසී ඔබ මහ කැලේ
නිහඬ අඳුරක මිහිතලේ

කඩා සීමා බන්ධන
ලබන්නට ලොව වින්දන
සටනටම ඔබ කැන්දන
වියරු වැටිලා රංගන

විශ්වයේ රිද්මය අසා
සිටියි ඔබ නෙතු යුග වසා
නැගිට සිට තවකෙකු නසා
ඔබට ජය ඵල නැති නිසා

ලොවේ පිපි මල් දැක්කම
දැනේ ඔබ නැති හිස්කම
පින්සලක ගෑ සායම
බොඳ කළා ඔබේ සිත්තම

තරුම පමණක් දිලි රැයේ
පබැදුමයි ඔබ ගීතයේ
එහෙත් ඔබ නැති සාදයේ
කවුද හරි මේ ලෝකයේ

ඔබට සෙවණකි වන පෙත
එයම සුරකී ඔබෙ ගත
ලොවම දැනගත යුතු නැත
සුදුසු තැන ඇත ඔබේ සිත

ආර්. එම්. උදාර බුද්ධික රුද්‍රිගු – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *