තාත්තා

තාත්තා මහ අමුතු චරිතයකි. දැනුම් තේරුම් වයසේ සිටම මම අම්මාගේ තුරුළට හුරු වූයේ පෙකනි‌යෙන් ලද  සම්බන්ධයෙන්ම පමණක්ම නොව ඕනෑම දේකට දත ගලවාගැනීමට තිබූ හැකියාව නිසාවෙනි. තාත්තාගෙන් එසේ බැරිය. රුපියල් සීයක් ගත්තත් අය වැය සතේට පෙන්විය යුතුය. එසේ වුවත් පවුලෙන්ම මම කැමැත්තක් දැක්වූයේ අම්මාට නොව තාත්තාටය. ඒ වෙනකක් නිසා නොව “උඹ තාත්තා වගේමයි…” යනුවෙන් ගම්මුන් පවසන නිසා වෙන්ම ය.

තාත්තා කිසි දේකට හොඳයි කියූ වාරයක් නැත. ඔහු හැම දේකටම පවසන්නේ “හ්ම්… පරෙස්සමින්” කියා ය. මට වෙලාවකට මේ කිසිත් නොපවසා කට බලියන් සිටීමට හිතුණු වාර අපමණය. ඇයිද යත් මා බලාපොරොත්තු වුණු පිළිතුර මට අහන්නට නොලැබුණු නිසාවෙනි.

කාලය ගතවූයේ පනිට්ටුවකින් වතුර අදින්නා සේ වේගයකිනි. විශ්ව විද්‍යාලය සඳහා සුදුසුකම් ලැබූ මා ඉන් ඉක්බිතිව විවාහ දිවියට ඇතුළත් වූයේ මහත්  වූ බලාපොරොත්තු සමුදායක්ද සමගය. ඒ මාගේ පත්වීම ලැබුණු පාසලෙහි ගුරුවරියක් සමගය. මෙයට නිවසින් විරෝධයක් එල්ල වුවද එය මා ගණනකට ගත්තේ නැත.

“උඹ ප්‍රශ්නෙක නේද?”

කල්පනා කරමින් සිටි මම හිස ඔසවා බැලුවෙමි. රජයේ සේවකයෙකු වූ මා මීට අවුරුදු දෙකකට ඉහතදී විවාහ වූයේ මහ ඉහළින් ලොවටම ණය වීමෙනි. නමුත් විවාහය ප්‍රශ්නයක් වූයේ ණය පියවීමේ බර මට පැටවීමත් සමගය.

“නෑ තාත්තේ මම මේ ඩොකියුමන්ට්ස් වගයක් හදනවා”

“උඹ මාව රවට්ටන්න හදන්න එපා. ඕන මෝඩයෙකුට තේරෙනවා උඹ නළල පොඩිකර කර දඟලනකොට මොකක් හරි කෙහෙල්මලක් කියලා”

කිසිත් නොපැවසූ මම ඔහේ බලා සිටියා පමණි. ලක්ෂ දහයක ණය බරින් නිදහස්වීමට මාස් පතා ණයවන මට තාත්තා සමග වුව සුළු මොහොතක් හෝ කතා කිරීමට සිත් නොදෙයි.

“මෙන්න මේක තියාගනින්… තියාගෙන ඩිංගක් හිනාවෙලා ඉඳපං”

යම් මුදලක් මා අත තැබූවද ඒ ගැන විමසීමට හිත අපොහොසත් වුනේ කෑදරකමක් නිසා නොව කුඩා කලම එය පුරුද්දක්ව තිබූ බැවින් ය. මා ඉගෙන ගන්නා අවදියේ ද ඒ සඳහා මුදල් ලැබුනේ කෙසේදැයි යන වගද දන්නේ තාත්තා පමණි. යම් පමණ ඉල්ලුවද එපමණට සෑහෙන්න කෙසේ හෝ තාත්තා මුදල් සොයා දුන්නේ ය. එය මට ද වැටහුණේ ණය වූ පසුවය. නමුත් මම දැන් පොඩි නැත. තාත්තා දැන් වයස ය. නහර ගැට ගැසීම නිසා ඇවිදින්නේද අපහසුවෙනි.

“තාත්තට කොහෙන්ද සල්ලි”

“උඹ ඒ ගැන හිතන්න ඕනෙ නෑ… අනික ඔතන මහ ලොකු ගාණක් නෑ… පහළවක් විතර ඇති මයෙ හිතේ. බයික්කෙක වික්කා… මම උඹට කියන්න ගියේ නෑ… ඒකේ දැන් කාලෙ හරි. ගස්සනවා නිතරම. ඇරත් ඕකට තෙල් ගහන්නත් ගියාම තව වියදම්… මම ඔය මගුලෙ යන්නෙ පත්තරේ ගන්න විතරනෙ. හෙට ඉඳන් සුගත් කොල්ලට කියලා ගෙන්නගත්තෑකි.”

මට නම් මෙය කිසිසේත්ම බාර ගත නොහැක්කකි.

“තාත්තේ…”

“උඹ ඉක්මනට තාත්තෙක් වෙයිනෙ ඉස්සරහට. අන්න එදාට උඹට මම කිව්ව දේවල් තේරේවි.”

නිර්නාමිකයා

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *