Yathra

යාත්‍රා 01 - දිවාගුහාව

‌මහියංගනං නාග දීපං – කල්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපී – චේතියංච මුතිංගනං
තිස්ස මහා විහාරංච – බෝධිං…..

අත්තම්මා මහා සද්දෙට ගාථා කියනවා අහගෙන චූටි නංගිත් බැරි බැරි ගාතේ ගාථාව කියවනවා. මමත් ඒ දෙන්නා ගාවට කිට්ටු වුණේ හිතට දැනුණු සතුටත් එක්කම අත්තම්මගෙන් තවත් ගාථාවක් අහගන්නත් හිතාගෙන. මම ඒ දිහාවට ආපු නිසාදෝ අත්තම්මා ගාථා පොත පොඩ්ඩක් පහතට අරගෙන කණ්නාඩි කුට්ටම යටින් අපූරු හිනාවක් දාලා මගේ දිහා බැලුවේ “ආවේ නම් නිකමට නොවේ” වගේ බැල්මෙන්.

අත්තම්මේ ඒ කියපු ගාථාවේ මම නොදන්න දෙයක් අහගන්නයි මේ ආවේ. චූටි නංගි කට ඇරගෙන බලාගෙන ඉන්න විදිහට බ්‍රේක් නැති මැස්සෙක් නම් ආවොත් ආමාශයේ තරම මැස්සගේ ඇස්වලින් බලාගන්න පුළුවන් වෙයි කියලයි මට හිතුනේ. ඒ හිතුමට නිකමට මට හිනා ගියත් ඇය දැනගත්තා මම ඇයට හිනා වුණු වග. පුංචි ගෙරවිලි රැවුමකුත් මගේ පැත්තට පාවුණේ මම හිතුව විදිහටමයි.

ඉතින් පුතේ… පුතා මොකක්ද මේ ගාථාවේ නොදන්න දේ? අත්තම්මා ලොකු කතාවකට හරි බරි ගැහුණා. අත්තම්මේ ඔය ගාථාවේ ඔය දිවාගුහාව කොහෙද අත්තම්මේ තියෙන්නේ?

පුතේ… දිවාගුහාව තියෙන්නේ රත්නපුරේ කුරුවිට නගරයෙන් එරත්න කියන පාරේ හැතැප්ම 9 ක් විතර ගියාට පස්සේ තියෙනවා බටතොට කියලා ගමක්. ඒ ගමේ තියෙන කඳු වළල්ලේ වම් පැත්තේ තමයි මේ දිවාගුහාව තියෙන්නේ. දිවාගුහාවට පුතේ බටතොට ලෙන කියලත් කියනවා.

ඇයි අත්තම්මේ ඒ ලෙනට දිවාගුහාව කියන්නේ? ඔන්න ඉතින් පුරුදු විදිහටම චූටි නංගි කථාවේ මැදින් පැන්නා. කොහොම උනත් අහපු ප්‍රශ්නය නම් මගේ හිතෙත් කැරකි කැරකි තිබුනාම නොවේ.

පුතේ දිවාගුහාව කියන්නේ අප මහා සම්බුදු රජාණන් වහන්සේ 500 ක් භික්ෂුන් පිරිවරාගෙන ශ්‍රී පාද කන්දේ සිරිපා සටහන තබන්න වැඩම කළ අවස්ථාවේ දිවා කාලයේ විවේකයෙන් රැඳී සිටිය ස්ථානය නිසා දිවාගුහාව ලෙස නම් වුණා කියලා තමයි මහාවංශයේ සඳහන් වෙන්නේ.

ඒ විතරක් නෙමෙයි පුතේ හාස්කම්. ඒ අවට ඉතාමත් රමණීය සල්මල් ගස් යායක් තියෙනවා. දිවාගුහාව ඉදිරිපිට තියෙන මහා පැරණි සල් ගහේ දවස් 365 ම සුවඳ මල්වලින් පිරී තියෙනවා.

අත්තම්මේ… මේ තරම් පූජනීය ස්ථානයක් තවමත් අප්‍රකටව තියෙන්නේ ඇයි? දෙවැනි ප්‍රශ්නයත් අත්තම්මා දිහාවට යොමු කළේ තවත් පිළිතුරක් බලාපොරොත්තුවෙනුයි.

පුතේ 1995 දී බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන්වහන්සේ තමයි හරියටම මේ ලෙන දිවාගුහාවමයි කියලා අඳුනගෙන ප්‍රසිද්ධියට පත් කරලා තියෙන්නේ.

අනේ අත්තම්මේ ඊළඟ නිවාඩුවට දිවාගුහාව වන්දනා කරන්න යමුද? චූටි නංගි අහද්දි අත්තම්මා දොහොත් මුදුන් දීලා සාදු කාරයක් දුන්නේ ඒ ගමන ස්ථීරයටම යන බව අඟවමිනුයි. හිත යටින් මටත් එහි යාමේ පුංචි ආසාවක් මෝදු වෙමිනුයි තිබුණේ. හිත යට ඒ් අදහස එහෙමම ගුලිකරගෙන අත්තම්මාගෙන් මෙහෙම අහන්න හිතුනා.

“ගාථාවේ හැටියට අත්තම්මේ හත්වැනි ස්ථානයට තමයි දිවාගුහාවට වැඳුම් කරන්නේ. මේ තරම් කාලයක් මේ තරම්  වටින තැනක් අප්‍රසිද්ධව පැවතිම නම් අපරාධයක් නේද අත්තම්මේ…”

ඔව් පුතේ… සමහර වටින කියන හොඳ දේවල් අපට ලැබෙන්නේ පරක්කු වෙලා. පරක්කු වෙලා වුනත් වටින දෙයක් ලැබුනම ඒකේ වටිනාකම අඩුවෙන්නේ නෑ පුතේ. ඕක අපේ ජීවිතයටත් එහෙමයි පුතේ. අත්තම්මට වැඳලා ගෙට යන්න හදනකොට ඔලුව අතගාලා ඒ කිව්ව කථාව හරියටම හරි කියලා මගේ හිතටත් දැනුනා.

බුද්ධිකා කාරියවසම්

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *