පුංචි ළමයි හරියට මල් වගේ. පුදුම දාංගලයක් තියෙන්නේ. ඊටත් එහා ජීවිතේ ගැන කිසිම බරක් පතලක් තේරෙන්නේ නැහැ. කොරෝනා වසංගතේ පැතිරෙනවත් එක්කම අම්මලා තාත්තලගේ හිත්වල ඇති වුන බය පුංචි ඈයොන්ගේ හිත්වලටත් සමහර වෙලාවට එබිකම් කරනවා. ඊටත් එහා ඉස්කෝලත් නිවාඩු දීල නිසා අපේ පුංචි පැටවු ගෙවල්වලටම වෙලා ඉද්දී අම්මලා තාත්තලටත් නිදහසක් නැතුව ඇති.
ඉතින් බ්‍රැන්ඩික්ස් අපේ සමාජ සත්කාර ඒකකය අපේ ජීවිතවල මේ කාලේ ඇති වෙලා තියන වෙනසත් එක්ක අලුත් විදියෙ දෙයක් පටන් ගන්න හිතුවා. ඒ තමයි “අපි හැදෙමු රට හදමු” කියන තේමාව යටතේ චිත්‍ර නිර්මාණ සහ කවි නිසඳැස් දැක්මක් පැවැත්වීම. ගෙවල්වලට වෙලා ඉන්න අපේ සාමාජික සාමාජිකාවන්ටත් එයාලගේ පවුල්වල දරු දැරියන්ටත් මානසික තෘප්තියක් ලබා දෙන ගමන්ම දරුවන්ගේ කලා හා සෞන්දර්යාත්මක හැකියාවන් ඔප් නැංවීම තමයි මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ.
මේ නිර්මාණ දැක්ම සඳහා චිත්‍ර නිර්මාණ 600 කට අධික සංඛ්‍යාවක් ලැබිලා තියනවා. විශේෂයෙන්ම බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයෙන් පමණක් නිර්මාණ 171 ලැබිලා තියනවා. කොහොම වුනත් එක තැනකට වෙලා ඉන්න බැරි තරම් දාංගලේ තිබ්බට පුංචි උන්ගේ නිර්මාණ හරි ලස්සනට සීරුවට ඇඳලා එවලා තියෙනවා. ඉතින් ඔයාලම අපේ පුංචි පැටවුන්ගේ නිර්මාණ බලලා තීරණේ කරන්න ඒ කතාව ඇත්තක්ද කියලා.