“සර්, ප්ලේන්ටි ද ටී ද? “
තේ ඇන්ටි ගේ වැඩවල කිසි පිළිවෙළක් නැති ය. වසරකටත් වැඩි කාලයක් කාර්යාලයේ වැදගත් මහතුන්ට තේ සපයන ඇයට තවමත් ඔවුන්ගේ රුචි අරුචිකම් තේරුම් ගැනීමට නොහැකි ය. මගේ මවටත් වඩා වයසින් මෝරපු ඇය නිතර නිතර බැනුම් අසන්නේ තේ නාස්තිය නිසා පමණක්ම නොව රුචිය අනුව කලට වේලාවට තේ නොලැබීම මුල් කරගෙනය. ඇගේ වයසත් පනහට එහා මිස මෙහා නැත. සිහින් සිරුරැති කාන්තාවක් වන ඇගේ මුළු ස්වරූපයම මළානිකය.
” ටී එකක් දෙන්න ඇන්ටි. මේ වැඩ එක්ක උදේට කන්නත් බැරි වුනා. “
” ටී නම් ඉවරයි සර්. පොඩ්ඩක් ඉන්න මං හදලා ගෙනත් දෙන්නම්! “ යැයි පැවසූ ඇය කාර්යාලයෙන් පිටව ගියේ ප්ලාස්ටික් ෆ්ලාස්කයක් ද රැගෙන ය.
දිවා කාලයේ ආපන ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීම නියමිත දැනුවත්කිරීමේ වැඩසටහනක් සඳහා උදෑසන පටන් වෙහෙසී සිටි මා හට උදෑසන ආහාරයද අමතක වුනේ අතෝරක් නැතිව නාදවන දුරකථනය නිසාවෙනි. ඇරත් මා හෙම්බත් වී සිටියේ අක්කර පහක පමණ වූ කර්මාන්තශාලා පරිශ්‍රය පුරාම ඉහලට පහළට ඇවිදීම ද නිසාවෙනි. ඇගේ පිළිතුරෙන් කිපුණු මා කාර්යාලයෙන් පිටව වැඩසටහන සංවිධානය වන ඉසව්වට නික්මුනේ “තේ එක ඇන්ටිම බී ගත්තාවේ! “ යනුවෙන් මටම කියා ගනිමිනි.
” ඇන්ටි මෙතනට තේ මදි! ”
” ඔය සර්ලා ටී බොන්නෙ. ටී පහක් ගේන්න. “
” ඇන්ටි එයාලා ටී බොන්නෙ නැහැල්ලු. ප්ලේන්ටි පහක් ගේන්න. “
” ඇන්ටි ඔතන බෙදලා ඉවරනම් පොඩ්ඩක් බෝඩ් රූම් එක බලන්න. එතනත් ඔපරේෂන් මීටින් එකක් තියෙනවා. විස්සක් විතර එතෙන්ටත් ඉක්මනට ගිහින් දෙන්න. “
වැඩසටහනෙහි පිරිසට තේ බෙදාදීමත් සමඟ වැඩසටහනේ අවධානයෙන් මිදුණු මා බලා සිටියේ ආපන ශාලාව හරහා විසි තිස් පාරකට වඩා ඉහළට පහළට ගිය තේ ඇන්ටි දෙසය. එසේ ගමන් ගත් ඇගේ දෙඅතෙහි ෆ්ලාස්ක දෙකක් රැඳුණු අතර විටෙක කෝප්ප සහිත කූඩයක්ද රැඳුණි. එහි විටෙක නැවුම් කෝප්පද විටෙක භාවිත කළ කෝප්පද විය.
” නරකද ඇන්ටි ඔය සර්ලා ආස ප්ලේන්ටි ද ටී ද කියලා හරියට දැනගෙන තේ බෙදන එක. නැත්නම් ඇන්ටිටත් එපා වෙනවනෙ ඔය සැරෙන් සැරේට තේ හදන්න ගියාම. “ වැඩසටහන අවසානයේ තේ කෝප්ප එකතු කිරීමට ආ ඇයට මා එසේ යෝජනා කළේ ඇය මේ ගන්නා බොරු මහන්සිය ඉතිරි කර දීමට මෙන්ම වැඩිහිටියෙකුට ඔවදන් දීමෙන් ලද අමුතු ආකාරයේ ආඩම්බරයක්ද ඇතිව ය.
මා දෙස සිනා මුසු මුහුණින් බැලූ ඈ,
” අනේ නෑ සර්. අනික සර්ලා කැමති දේ හදලා දෙන එක මගෙ රස්සාවනෙ. මගෙ පොඩි එකිත් කවදාවත් එකම දේට කැමති නෑ. රහම තමා හොයන්නෙ. සර්ට කියන්න මාලුපිණි ආස ඒවා නැත්නම් ඔය ගෑණි කන්නෙත් නැතුව ඉන්නවා. ඔහොම තමා ඉතින් ඔය වයසෙ හැටි. “ විඩාබර සිනා මුහුණින්ම තම විලුඹෙහි වූ ප්ලාස්ටරය සකසා ගත් ඇය එතනින් නික්ම ගියේ සුපුරුදු කෝප්ප කූඩයද සමඟ ය.
” සර් ටී ද ප්ලේන්ටි ද? “
කල්පනාවෙහි ගිලී සිටි මා අවදි වූයේ ඒ සුපුරුදු කටහඬට ය.
” ටී එකක් බොමු ඇන්ටි. දවල්ට කන්නත් අමතක වුණානෙ වැඩ එක්ක මට “
” ටී නම් ඉවරයිනෙ සර්. සර් මෙතනනම් ඉන්නෙ මම හදලා ගෙනත් දෙන්නම්. උදේ එකත් බොන්න හම්බුනේ නෑනේ සර්ට. “
” නෑ ඇන්ටි කමක් නෑ ප්ලේන්ටියක් දෙන්න. හවසට කොහොමත් හරියන්නෙ ප්ලේන්ටියක් තමයි. අනික කාලෙකින් ඉඟුරු රහට ප්ලේන්ටියක් බිව්වෙත් නෑ. ”
– නිර්ණාමිකයා –