අම්මා

කුසෙහි දරා දරුවන් වැදුවෙන් ඇයට
අම්මා නමින් කිරුළක් පැළදුවේ හිසට
ගලනා උනු ලේ බිඳු හැරවුණි කිරට
හැම දෙවිදකුම පරදී අම්මා නමට
 
ලැබුණ කිරුළ රැකගන්නට ඇයට බැරී
ඇගේ සෙනෙහෙ දරුවට නිසි දෙන්න බැරී
ළදරු තොලේ තවරන්නට බැරිද කිරී
එවන් ළදුන් යනවා නම් හොදයි මැරී
 
නැළවිලි තාලයට පොඩි පුතු නළවන්න
වරම් නොලද ගැහැණුන් ඇත ඉකි බිදින
පෙර කල පවක් තිබුණිද උන්ගේ නමින
පඬුපුල් ආසනේ කුමටද රත් නොවෙන
 
දරුවන් වැදූ පමණින් ඇය මවු වුණිද
නොවදා ළමුන් මවු  වුන මවුවරු නැතිද
සිතේ සෙනෙහෙ පිරි වඳ ගැහැනුන් නැතිද
දාරක සෙනෙහෙ නැති කිරුළේ ඵල කිමද
 

කෞෂල්‍යා සන්දීපනී – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *