ගමට ඇවිදින් තාම බොහෝ කල් නොවූවත්…
ගත කලේ සැප සම්පතින් නොඅඩු දිවියක්…
ගමේ උන් දැක්ක තැන පෙනුම දුටු විගසකින්…
කියනු හැකි විය කවුද මොනවිදියෙ කියා උන්…
හන්දියෙන් හැරෙන කොට කොල්ලො රෑනක් සිටී…
ඇඟ පුරා පච්ච ඇති කොන්ඩ උන් වවා ඇති…
කන කරාබුත් දමා යකඩ දම්වැල් වැනී..
මාල දා ගත්ත උන් කාලෙ කා දමන්නෙකි…
දුටුව මුත් උන් සිටින දිහාවත් නොබලා මා…
ඉගිලුනා කාරයෙන් ලොකු කමත් හිත් රුවා..
දුටුවා කන්නාඩියෙන් මා දිහා බලනවා..
රස්තියාදු රැල දිහා කුමට මා බලනවා…
පෝයටත් දවසකී තව ඉතිරි වී ඇත්තෙ…
කූඩුවක් හදන්නට වෙලාවක් නෙව නැත්තෙ…
දරුවාට පෙන්නන්න වෙසක් කූඩුව සිත්සෙ…
යන්න වෙයි කොලඹවත් හෙට වෙසක් මංගල්ලෙ…
ඊයෙ වගෙ අද උදෙත් කොල්ලො ඇත හන්දියේ…
මන්න පිහි අලවංගු උන්ගෙ අත් වල ඇත්තෙ…
අදයි පුන් පෝ දිනය මුන් මොනවා කර ඇත්තෙ…
කාලකණ්නියො රෑන දෙලොවටම වැඩ නැත්තෙ…
හවස් වී කොල්ලො ටික ගේට්ටුව ලඟට විත්…
“ගෙදර කවුදැයි” අසයි කෑ ගහල මහ හඬින්…
“මොකද බෙරිහන් දෙන්නෙ අයිසෙ ඇහෙනවා කන්…”
“එනවාද මෙහෙට පොඩි වෙලාවක් දීලා සර්”
“ඇයි මොකද අයිසෙ මේ” කියා මා අහද්දී…
එකෙක් අත තිබු බුලත් අතක් මට ඔහු දුනී…
කියන්නේ මොනවාද කිසිත් නැහැ වැටහුනේ
“අපි පොඩි වැඩක් කලා බලන්නට එනවනේ”
ඇහැට කදුළක් උනයි නොදැනීම දෑසටම..
“හා මල්ලි එන්නම්” කියා කීවා උන්ට
නෝනයි බබයි එක්ක ගියා රෑ හංදියට
බලන්නත් ලස්සනයි මහා බත් දන්සලද…
එහා පැත්තෙන් තිබුන දේ දැකලා පුදුම උනි…
මහ වෙසක් කූඩුවකි පැටව් විසිහතරකී…
කාලකණ්නියො අපියි උන් නොවෙයි සිත්දුනී…
කලකිරුනා මටම මම ගැන උන්ව මතක් වී…
උමේෂා පතිරණ – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය