මෙතනින් මාරුවෙනු

මෙතනින් මාරුවෙන්න 02 - යාළුවෝ මාළුවෝ

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා වෙතී
යුතුමතු වැඩම තෙපළ එවැනි ගුණ ඇතී
සිතු නතු කර අස යහළුව වඩනු රුතී

මේ කවිය ඔබ අපි දන්නා සැළලිහිනි සන්දේශයේ කවියක් බව මුල පදය දැකීමෙන්ම කිව හැකි නොවේද? අපි ඇසුරු කරන මිතුරන් මේ කවියේ කියන විදියටම අපි එක්ක ඉන්නවද කියලා.

ඔව්. අපි ගොඩක් පොඩිකාලේ ඉඳලා යහළුවො ඇසුරු කරලා තියෙනවා. කුඩාම කාලේ ඇසුරු කළ අය වයස අවුරුදු 10-12 කාලයේදී අපෙන් ඈත්වෙනවා. වයස අවුරුදු 13-17 කාලෙදි අපි ආශ්‍රය කරන අය අපි නොදැනුවත්වම අපෙන් ඈත්වෙනවා. ජීවිතේ යම්කිසි අවබෝධයක් ඇතිව යහළු මිත්‍රාදීන් ඇසුරු කිරීමත් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒත් සුදුසුම අය එලෙස ඇසුරට ගැනීමට අපිට හැකිවෙලා තියේද කියලා කවදකහරි හිතලා බලලා තියෙනවද? සමහර විට අපි ආශ්‍රය කරන අය නිසාවෙන් අපි ජීවිතයේ කිසිම දිනෙක නොසිතූ මානයකට අපේ ජීවිත හැරවෙන්න පුළුවන්.

සිගාලෝවාද සූතුයේ බුදුරජාණන් වහන්සේ විසින් සමාජය තුළ මිතුරන් දෙකොට්ඨාශයක් සිටින බව පැවසුවා. ඒ කල්‍යාණ මිතුරන් හා පාප මිතුරන් විදියට. ඉතින් අපේ ජීවිත කාලය තුළ වැඩිපුරම මුණගැසී ඇත්තේ මින් කුමන වර්ගයේ මිතුරන්දැයි සීතීමට ඔබට භාර කරනවා.

ජීවිත ජීවත් කරවන්නේ බලාපොරොත්තු. ඒ වගේම අපි ඇසුරු කරන අය නිසා සමහර සිරිත්විරිත්වලට අපි ඇබ්බැහි වෙනවා. කල්‍යාණ මිතුරන් සමග ඇසුරෙන් අපි යම් වරදකට පෙළඹෙන අවස්ථා හරි අඩුයි. ඔබ හිතයි කවුද මේ කලණ මිතුරන් කියලා? කල්‍යාණ මිතුරන් කියන්නේ කවුද කියලා මම කියලා දෙන්නම්.

උපකාරක මිත්‍රයා – නිරන්තරයෙන් තම මිතුරාට උපකාර කරමින් මිත්‍රත්වය පවත්වාගෙන යයි.

සමාන සුඛ දුක්ඛ මිත්‍රයා – දුක සැප දෙකේදීම මිත්‍රත්වය සමසේ පවත්වාගෙන යන්නා

අත්ථඛායි මිත්‍රයා – නිරන්තරයෙන් යහපත වෙනුවෙන්ම මාර්ගය පෙන්වා දෙමින් මිත්‍රත්වය පවත්වාගෙන යන්නා

අනුකම්පක මිත්‍රයා – යම් හෙයකින් තම මිත්‍රයා නොමග ගොස් ඇති බව හැගුණහොත් අනුකම්පා සහගතව සෑම වෑයමක්ම දරමින් මිත්‍රත්වය පවත්වාගෙන යන්නා

කල්‍යාණ මිතුරන් සේම පාප මිතුරන්ද ඔබ ඇසුරු කරනවා ඇති. මේ සූදානම ඒ ගැන කියන්න.

අඤ්ඤදත්ථුහර – යමක් ලබා ගැනීමට පමණක් මිත්‍රත්වය පවත්වාගෙන යන්නා

වචීපරම – වචනයට පමණක් මිත්‍රත්වය පවත්වාගෙන යන්නා

අනුප්පියභානි – හොඳ නරක තෝරා නොදී හොඳ, නරක දෙකම අනුමත කරමින් මිත්‍රත්වය පවත්වාගෙන යන්නා

අපාය සහාය – පාපකාරී වැඩවලට පොළඹවන්නා/ අපායට ඇදගෙන යන්නා

බොහෝ අය තම මිතුරන් වෙනුවෙන් ඇති විශ්වාසය පදනම් කරගෙන අතිශය පෞද්ගලික තොරතුරු මිතුරන් හා බෙදා ගැනීම නිසා සමහර අවස්ථාවල ජීවිත හානි දක්වා දුරදිග යන අවස්ථා තියෙනවා. ඔබ කුමන ආකාරයේ අය ඇසුරු කළද ඔබගේ අතිශය පෞද්ගලික තොරතුරු පැවසීමට පෙර සිය දහස්වරක් සිතා බලන්න. කුළුපගව, මිත්‍රශීලීත්වය පෙන්වා අපගේ මිලමුදල්, ආභරණ ඉතා සූක්ෂ්ම ලෙස ඩැහැගන්නා පිරිස් අද සමාජයේ නැතුවා නොවේ. මිතුරන් ලෙසින් ළංවන සතුරන් හඳුනා ගැනීමට ඔබ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.

මේ ගති ලක්ෂණ ඇති අය ඔබට හමුවී ඇත්දැයි මදක් සිතා බලන්න. ඔබට හොඳම යහළුවා තම නිවසින්ම තෝරා ගැනීමට හැකි නම් මිත්‍රත්වය හේතුවෙන් කිසිදු ගැටළුවක් ඇතිවන්නේ නැහැ. ඔබගේ දුකේදි වගේම සතුටෙදිත් මඟනොහරින්නා බොහෝවිට සිටින්නේ ඔබගේ නිවසේ බව පසක් වන්නේ කාලයාගේ ඇවෑමෙන් විය හැකියි.

හිතන්න මොහොතක්. අපි සමහර වෙලාවට ගනු ලබන අනුවණ තීරණ අපේ ආදරණීයයන්ට බලපානවාද? ඔබ අහලා ඇති මෙන්න මෙහෙම කතාවක්. ‘බල්ලොත් එක්ක නිදියගත්තොත් නැඟිටින්න වෙන්නේ මැක්කොත් එක්ක‘ කියලා. අපි පුරුදුවෙමු අපිට ගැළපෙන පුද්ගලයන් ඇසුරු කරන්න. ජීවත්වන කෙටි කාලය තුළ විඳවන්නේ නැතිව විඳින්න පුරුදුවෙන්න. අපේ බ්‍රැන්ඩික්ස් දූ දරුවන්ගේ යහපැවැත්ම සරු කරන්නට  හඳුන්වා දී ඇති සාරධර්ම ප්‍රගුණ කරන්න. ඒ තුළ ජීවත්වන්න. යහපත් මිතුරු ඇසුරක් ලබන්නට අපි දන්නා නොදන්නා සියලුදෙනාට  හැකියාව ලැබේවායි පතමු.
 
ජීවත්වන කෙටි කාලෙදි – හොඳ වැඩ කෙරුවොත් බෝමා
යහපත් මිතුරන් ඇසුරේ – සිත සැනසුම ඇත සැමදා

රේණුකා බණ්ඩාරිගොඩ

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *