ගඳ හමන කොහු වට්ටිය හිසේ තබා
දිවා රෑ දෙකෙහිම කොහු මෝලටම වෙලා
කුසයට කිසිඳු අහරක් වත් නොගෙන මෙමා
දිවියම කැප කළේ නුඹ වෙනුවෙන්ම තමා
අම්ම ගියත් තනිකර මට නුඹ දීලා
සිටියා ළගින් නුඹේ තනියට මම සැමදා
මට මුළු ලොවම නුඹ විතරක්ම නිසා
රැකගත්තේය පන සේ මගෙ පුංචි පුතා
සුදු පුතු ලොකු වුණා ටික ටික දුව පැනලා
සිටියේ මමයි ඔහුගේ ලොව රජ වීලා
කැවුවේ නොමැතිනම් බත් ටික මම රසට අනා
බඩගින්නේ ඉන්නවා පුතු තරහ වෙලා
හරිම හැඩයි මගෙ පුතු අද තරුණ වෙලා
ඉන්නට හිතුනා නුඹ හා මට මියෙන තුරා
එනමුත් ඇසුනා පුතුනේ මගේ ලේලි හඬා
කියනවා එපා යැයි ඔබගේ මහළු පියා
දෙඅතම වාරු නොමැතිව අඩපන වීලා
කරගැට පිරි දෙඅතම අවපැහැ වීලා
ඉන් බත් කටක් අනලා දැන් රස කරලා
කැවුවොත් කනවදෝ පුතුනේ කැත නොසිතා.
පුතුගේ සැපත මගෙ සතුටම සිතලා
ගෙදරින් පිට වුනා කාටත් නොකියා
ලේලිය සමඟ පුතු ඉන්නකෝ සැමදා
වැසූ පරන කොහු මෝලට මම යනවා
එම්. ජී. එස්. එස්. තිලකරත්න – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය
– ඉදිකටු පන්හිඳ –