දයාබර සාමාජිකයිනි,

මෙය ශ්‍රී ලංකාව තුළ හා ලොව පුරා සිටින අප සමූහයේ සැමට ඉතා පීඩාකාරී හා ව්‍යාකූල වූ කාල පරිච්ජේදයකි. අප ඉතා ශක්තිමත් එක් සුවිසල් පවුලක් වැනි සමාගමකි. වසර ගණනාවක් වූ අපගේ ගමන්මග තුළ මුහුණ දුන් අසීරු අභියෝග දෙස හැරී බලන විට, ඒ සෑම මොහොතකම ඒ අභියෝග ජය ගැනීමට මා පන්නරය ලබමින් පිබිදුණේ ඔබෙන් ලද සහයෝගය හා කැපවීම නිසාය. මා ඔබ සමඟ වැඩ කිරීමට ඉතා ඇලුම් කරන අතර එය මගේ ජීවිතයේ මා ලද භාග්‍යයකි.

සිදු වූයේ කුමක්ද?

මිනුවන්ගොඩ අපගේ කර්මාන්තශාලාවෙන් පළමු කොවිඩ්-19 රෝගියා වාර්තා වීමෙන් පසු අපගේ දැඩි අවධානය යොමු වූයේ ඒ බලපෑමට ලක් වූ අපේ සාමාජිකයන්ට හැකි ඉක්මනින් රැකවරණය සැලසීම වෙතය. අද වනවිට ඔවුන් සියලු දෙනාම රෝහලක හෝ නිරෝධායන මධ්‍යස්ථානයක රැකවරණය ලබමින් සිටී. මේ අසීරු අවස්ථාවේදී ඔවුන්ගේ පහසුව හා ආරක්ෂාව සැලැසීම සඳහා අවශ්‍ය කටයුතු අපි දිවා රෑ නොතකා අපගේ උපරිමයෙන් සිදු කරමින් සිටිමු.

එමෙන්ම, මේ උවදුර හේතුවෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතයට සිදු වූ බාධා හා දුෂ්කරතා ගැන අපි දැඩි ලෙස කම්පා වන්නෙමු.

ඔබගේ ආරක්ෂාව, සීමාකිරීම් හා ආශ්‍රිතයන් සොයා යෑම

ඔබත්, ඔබගේ සෞඛ්‍යය හා ආරක්ෂාව මෙන්ම රැකියාවේ සුරක්ෂිතභාවය ගැන කනස්සල්ලෙන් සිටිනවා විය හැකිය. විශේෂයෙන්ම, ඔබ අප සමූහයේ සාමාජිකයෙකු වීම නිසාම කොවිඩ්-19  වසංගත තත්ත්වය ඉලක්ක කරගනිමින් සමාජයෙන් ඔබට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබේ. ඔබට මුහුණ දෙන්නට සිදුවී තිබෙන මේ අවාසනාවන්ත තත්ත්වය ගැන මම දැඩි ලෙස කනගාටු වෙමි.

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට මෙම වෛරසය පැමිණියේ කේසේදැයි යන්න තවම අපට අනාවරණය කරගත නොහැකි වූ නමුත්, මෙහිදී අපි යළි යළිත් අවධාරණය කරන්නේ ඉන්දියාවේ සිටි අපේම ශ්‍රී ලාංකික සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් යළි ගෙන්වීමේදී අපි කිසිම විටක රජයේ නීති රෙගුලාසි උල්ලංඝනය නොකළ බවයි. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි අපගේ ශ්‍රී ලාංකික සාමාජිකයන් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට නොපැමිණි බවත් එම ආයතනයේ නිෂ්පාදන කටයුතු සඳහා ඉන්දියාවෙන් රෙදි  හෝ ඇණවුම් යොමු නොකළ බවත් සහතික කළ හැකිය.

කෙසේ වුවත් මිනුවන්ගොඩ ආයතනය තුළ මෙම වසංගතය පැතිරීමේ වගකීම අප විසින් භාරගත යුතුය. එම ආයතනය තුළ රෝග ව්‍යාප්ත වීම නිසා අප සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයන් නිසියාකරව ක්‍රියාත්මක නොකළ බවට චෝදනා එල්ල වී ඇත. අපගේ සාමාජිකයන්ගේ යහපත් සෞඛ්‍යය සහ මනා දිවි පැවැත්ම අපගේ ප්‍රමුඛතාවය වන බැවින්, ඒ ගැන නොසැලිකිලිමත් වූ ඕනෑම තරාතිරමක ඕනෑම නායකයෙකු මේ සම්බන්ධයෙන් වගකිව යුතු වේ. අපි මිනුවන්ගොඩ ආයතනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන අතර ඉදිරියේදී මෙවැනි වැරදීම් සිදු නොවීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමර්ග ගනු ඇත.

ආශ්‍රිතයින් හඳුනාගැනීම තුළින් මේ වසංගතය පැතිරීම සීමා කිරීම සඳහා අපි අදාළ රජයේ නිලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටිමු. රජයේ සහයෝගය ඇතිව අප දිවයින පුරා පිහිටි අපගේ ආයතනවල PCR පරීක්ෂණ බොහෝ ප්‍රමාණයක් සිදු කළෙමු. එමෙන්ම, ඔබගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයේ උපදෙස්වලට අනුකූලව, සතිපතා අපගේ සමූහයේ සියලුම සාමාජිකයන්ගෙන් අහඹු ලෙස PCR පරීක්ෂණ සිදුකිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

මීට අමතරව ඔබට හෝ ඔබගේ පවුලේ සමීපතමයෙකුට කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේනම්,  PCR පරීක්ෂණ සිදුකර ගැනීමට පහසුකම් සැලසීම සඳහා වහාම ඔබගේ ආයතනික මානව සම්පත් කළමනාකරු හරහා අපට දැනුම්දෙන්න. ඔබට යම් කිසි සැකයක් ඇත්නම් පවා වහාම  PCR පරීක්ෂණ සඳහා යොමුවිය යුතුබව අපි යළිත් අවධාරණය කරමු. ක්ෂණික ක්‍රියාමර්ග ගැනීම තුළින් කොවිඩ්-19 වසංගතය සමාජය තුළ පැතිරීම අවම කිරීමට හැකි වනු ඇත.
 
ඉදිරියේදී…

දැනට අප සාමාජිකයන් 1066 ක් කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වී ඇත. වාර්තාවන ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යන බැවින්,  ඉදිරි දින කිහිපය ලංකාවේ අප සැමට ඉතා තීරණාත්මක වනු ඇත. අප පවුලේ සාමාජිකයෙකු ලෙස, 2020 ජුනි සිට අපගේ සෞඛ්‍ය සහ සුරක්ෂා කණ්ඩායම විසින් රජයේ උපදෙස්වලට අනුකූලව ක්‍රියාත්මක කළ සෞඛ්‍යාරකෂණ ක්‍රමවේදයන් ඒ ලෙසින්ම ආයතනය තුළදීත් ඉන් පිටත බාහිර සමාජයේදීත් පිළිපැදීම අනිවාර්ය කරුණකි.

වසර ගණනක අත්දැකීම් තුළින් මා ඉගෙනගත් දෙයක් ඇත. එනම්, ඒ සෑම අභියෝගයක් තුළම අලුත් අවස්ථාවක්ද ඇති බවය. මා සිතන්නේ අද අපට අවස්ථාව ලැබී තිබෙන්නේ  වඩාත් දයානුකම්පිතව කටයුතු කිරීමටයි. මුලින්ම ආසාදිත යැයි සොයාගත් අපගේ පළමු සාමාජිකාව මාධ්‍ය ඔස්සේ අවලාද නගමින් අප ආයතනයට අසාධාරණ ලෙස අපහාස කර තිබේ. එමෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය හා ද්වේෂසහගත තොරතුරු ප්‍රචාරය වේ. ඒවාට නොරැවටෙන්න. සියලු කාරණා නුවණින් විමසා බලා තේරුම් ගන්න. අපව විශ්වාස කරන හා අපගේ ආයතනය වෙනුවෙන් දැඩිව ආදරයෙන් කැපවෙන සාමාජික ඔබ අප සමූහයේ ජීවනාලියයි. එවන් ඔබ මේ අසීරු අවස්ථාවේදීත් එක පවුලක් ලෙසින් එක්වී කටයුතු කරනු ඇතැයි යන්න මගේ නොබිඳෙන විශ්වාසයයි.

ව්‍යාකූල දැඩි අර්බුදකාරී තත්ත්වයන් තුළදී අන් අයට දෝෂාරෝපණය කිරීම හා අවලාද නැගීම අප සැමට පොදු සාමාන්‍ය මනුෂ්‍ය ස්වාභාවයයි. නමුත් අපේ හිත් සන්සිදුන විට අප හැමකෙනා තුළම දයාවෙන් පිරි උතුම් මානුෂික හැඟීම් ඇති බවද දැකගන්නට ලැබෙනු ඇත. මේ අප කෙරෙහිත් අන් අය කෙරෙහිත් දයාවෙන් පිරි උතුම් මානුෂීය හැඟීම් පතුරවාලිය යුතු හෝරාවයි.

අප අනාගතයේදී මේ සිදුවීම දෙස බලනු ඇත්තේ මේ දැවන්ත අභියෝගය ජයගත් උතුම් මානුෂීය ධර්මයන්ගෙන් පිරිපුන් ‘පිබිදුණු මිනිසුන්’ සමූහයකගේ නොසැලෙන අභීත ගුණය පරීක්ෂාවට ලක් කළ කාල පරිච්ජේදයක් ලෙසය.
 
ඔබ සැමට සියලු ශක්තිය, ධෙර්යය  හා රැකවරණය පතමි.

ස්තූතියි!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *