අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම

අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම

මුළුමහත් ලෝකයක්ම තමන් ඉදිරියේ දණින් නමන්නට ඇසටවත් නොපෙනෙන පුංචිම පුංචි වෛරසයකට පුළුවන් වෙයි කියලා අපි කවුරුත් හීනෙන්වත් හිතුවෙ නැහැ. එලෙසින් ලෝක වාසීන්ගේ ජීවිතවලට මෙන්ම ගෝලීය ආර්ථිකයට මරු පහරක් එල්ල කර ඇති කොවිඩ් – 19 බලපෑම නිසා ලංකාවේ ජන ජීවිතයටද ගැටළු රාශියකට මැදි වෙන්න සිදුවුණා.

අප රටේ යළි “කොරෝනා” ව්‍යාප්ත වීමත් සමගින් පසුගිය කාලය තුළ දිගින් දිගටම අපට අසන්න දකින්න ලැබුණේ සිත කලඹන පුවත්. ඒ අතර අසත්‍ය ‌පුවත් වැඩි වශයෙන් හුවමාරු වුණ බව හෙලිවෙමින් පවතිනවා. කොතරම් සාවද්‍ය තොරතුරු හුවමාරු වුනත් තම ආයතනය ගැන පූර්ණ විශ්වාසය තබමින් එකාවන්ව සිට සුවිසල් අප පවුලට ඉතාම ළෙන්ගතුව, ආදරයෙන් තම සහෝදර සහෝදරියන් තනි නොකර ඔවුන්ට දිරිය ශක්තිය නිරෝගී සුවය ප්‍රාර්ථනා කළ අපේ ආදරණීය සාමාජිකයන් සැබෑවටම ශක්තියක් හා ආදර්ශයක්.

සැබවින්ම මේ ගෙවෙන්නේ අභියෝගාත්මක කාලයක්. පසුගිය කාලය තුළ අහන්න දකින්න ලැබුණු තොරතුරු අතර, සතුටක් සැනසීමක් ලැබිය හැකි තොරතුරු මේ වනවිට අහන්න ලැබෙනවා. ඒ කොවිඩ් – 19 දැඩි බලපෑමට ලක් වූ මිනුවන්ගොඩ අප සාමාජිකයින් පිළිබඳ තොරතුරුයි. මේ වනවිට අපේ සියලුම මිනුවන්ගොඩ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නිරෝධායනය මධ්‍යස්ථානවලින් පිටව ගොස් අවසන්. ඒ වගේම කොවිඩ් 19 ආසාදනය වූ අපගේ සියලුම මිනුවන්ගොඩ සාමාජිකයන් රෝහල්වලින් පිට වී ගොස් අවසන්. ඒ පූර්ණ ලෙස සුවය ලබමින්.

ඒ සඳහා අනුපමේය මෙහෙයක් සිදුකළ රජය ප්‍රමුඛ සෞඛ්‍යය හා ආරක්ෂක අංශවලට අපේ හෘදයාංගම ස්තුතිය හා උපහාරය පුද කරනවා. තවද අප ආයතනය වෙනුවෙන් සුබවාදීව නිරෝගී සුව මෙන්ම නොයෙකුත් ආශිංසන පැතුමන් එක් කළ සමස්ත රට වැසියන්ද මේ මොහොතේ සිහිපත් කරනවා.

අපි නිරන්තරයෙන්ම රජයට, සෞඛ්‍යය බලධාරීන්ට සහ ආරක්ෂක අංශවලට පූර්ණ සහයෝගය ලබා දෙන අතර, ඒ නිතී රීතිවලට අනුව අපගේ ව්‍යාපාරික කටයුතුද අඛණ්ඩව සිදු කෙරෙමින් පවතිනවා.

එමෙන්ම ආයතන සමූහය අභ්‍යන්තරයේ සිදු කරගෙන යන දෛනික PCR පරීක්ෂණ සහ සෞඛ්‍යය ආරක්ෂණ ක්‍රමවේදයන් ඉතාම ක්‍රමානුකූලව නිසි ප්‍රමිතියට තව දුරටත් සිදුකරන අතර, එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව කඩිනම් පියවර ගැනිමද සිදුවෙනවා.

මේ “නව සමාන්‍ය ” ක්‍රමවේදය නිසා යම් අපහසුතාවයක් සිදුවේ නම් ඒ පිළිබඳව සුබවාදීව සලකා බලා කාලෝචිතව ඒවාට අනුගත වීම මෙන්ම සෞඛ්‍යය ආරක්ෂිත බව සුරැකීම සාරධර්මවලින් පිරිපුන් අපි හැමදෙනාම දන්නා කාරණාවක්. ඒ වගේම එය අපේ වගකීමක්. තවද මේ දක්වා ඇතිවූ සියලු බාධක අපහාසවලට සත් භාවයෙන් මුහුණ දුන් අප ආයතනය ඉන් ලැබූ පන්නරයත් සමගින් පෙරටත් වඩා නැවුම් උද්‍යෝගයකින් ඉදිරියට යන ගමන ගැන නිහතමානි ආඩම්බරයක් අප සතුයි.

වසර ගණනාවක් පුරාවට මෙරට විශිෂ්ටතම අපනයනකරු බවට පත්වූ, එමෙන්ම මෙරට වැඩිම රැකියා උත්පාදක ලෙසින් ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලැබූ අපි මේ අභියෝගයත් අපේ ගමනට පන්නරයක් කරගනිමින් වගකිවයුතු පුරවැසියන් ලෙසින් මෙරට ආර්ථිකය යළි පුබුදුවන්නට පෙරමුණ ගමු.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *