පොසිටිව් නොවී පොසිටිව් වීම - 01

පොසිටිව් නොවී පොසිටිව් වීම - 01

හිතෙනවා නේද ඇයි මෙහෙම මාතෘකාවක් දැම්මේ කියලා. ඒකට හේතුවත් ඔන්න මම පැහැදිලි කරන්නම්. පොසිටිව් වෙනවා කියන්නේ, එහෙම නැත්නම් සිංහලෙන් ධනාත්මක වෙනවා කියන්නේ මෙච්චර කාලයක් අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන සාමාන්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් එහෙම නැත්නම් ජීවන ක්‍රමයක් කිව්වොත් වඩාත් නිවැරදියි. වැඩපොළේ විතරක් නෙමෙයි කඩපොළේ, ගෙදර දොරේ, ආයතනයේ ආදී හැම තැනකම මේ පොසිටිව් වීම නම් කියන්නේ හරිම සුබවාදී දෙයක්. ඒත් ඒ වගේ ලස්සන වචනයකට වෙනස් ප්‍රතිරූපය ලැබුණේ අපි කවුරුත් හිතන්නේ නැති විදිහට, වෙලාවක.

සාමාන්‍යයෙන් ඕනෑම රෝගී තත්ත්වයක ඒ රෝග නිධානය අඩංගු විෂබීජය ශරීරගත වෙලා කියලා පරීක්ෂණාගාර වාර්තාවකින් තහවුරු කරන්නේ මේ “පොසිටිව්” කියන වචනයෙන්. ඉස්සර මේකට බය නොවුන අපි දැන් මේ වචනය ඇහෙන කොටම ඇඟ සලිත වෙලා යන තරමට තිගැස්සෙනවා.

හරි මම ඇත්තම කතාවට එන්නම්… කොරෝනා එහෙම නැත්නම් කෝවිඩ් 19 ලෝකය පුරා ව්‍යාප්ත වෙලා වසංගත තත්ත්වයකට පත් වෙනකොට ලංකාවේ අපිටත් ඒ බලපෑම් අනිවාර්යයෙන්ම එනවා. එතකොට මේ කොරොනා වෛරසය ආසාදිත වෙලා කියලා තහවුරු කරන්නෙත් ඒ කරන PCR පරීක්ෂණය “පොසිටිව්” වුණාම. අන්න ඒක තමයි මේ ප්‍රශ්නය.

නමුත් ඇත්තම දේ තමයි, සමකය ආසන්නේ ඉන්න, දවස් 365 ම ඉර අව්ව අඩු නැතිව ලැබෙන, හොඳට සැරට මිරිස් තුනපහ දාලා කෑම හදන, ලෝකයම පුදුමයට පත් වෙන විස්මිත දේශීය වෛද්‍ය ක්‍රමයක් තියන ලංකාවේ අපිට ඔය කොරෝනාවට ඒ තරම් ලොකු බලපෑමක් කරන්න බැරි බව.

ඒත් එහෙම හිතලා සෞඛ්‍යය උපදෙස් නොතකා අනාරක්ෂිතව හැසිරුනොත් අනිවාර්යයෙන්ම ඔයත් ආසාදිතයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා වැදගත්ම දේ තමයි ප්‍රවේසම්වීම.

ප්‍රවේසම් වෙන විදිහ මොකක්ද කියලා ආපහු මේ ලිපියේ කියන්න යන්නේ නෑ. ඒක ඔබ දැනටමත් දන්නවා. නමුත් මට ඕනේ මේ ඇහැට පෙන්නේ නැති පුංචි වෛරසයකට බයේ ගෙදරට වෙලා හැංගිලා ඉන්නේ නැතිව ඒකට එරෙහිව නැගී සිටින්න පොසිටිව් වෙමු කියලා කියන්න.

වෛරස් එකට එරෙහිව යුධ ප්‍රකාශ කරන්නේ කොහොමද… තාම ඒකට බේතක්වත් හොයා ගෙන නෑනේ… ඔබට හිතට නැගෙන ප්‍රශ්න මේවා නේද? ඔව් ඇත්ත… නමුත් අපිට පුළුවන් මේ කෝවිඩ් 19 පරාද කරන්න. සෞඛ්‍යය උපදෙස් පිළිපැදලා ආරක්ෂිතව හිටියොත් නිකම්ම අපි දිනුම්.

කියන්න ලේසියි කරන්න තමයි අමාරු…

අන්න එතැනදී තමයි අපි “පොසිටිව්” වෙන්න ඕනේ.

ඕනෑම රටකට, ජාතියකට, ජන කොටසකට, ගෝත්‍රයකට, රෑනකට, රැළකට, කණ්ඩායමකට අහියෝග එනවා. ඒ වෙලාවේ වැදගත්ම දේ තමයි ඒ අහියෝගයට එකම කණඩායමක් විදිහට ශක්තිමත්ව මුහුණ දෙන එක. සාර්ථකත්වය කියන්නේ අන්න ඒ දේට…

එන්න වෛරස් එක නෙගටිව් කරලා අපි පොසිටිව් වෙමු…

මොහාන් සුරවිර

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *