සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින

සිසි වන වුවන  ඉඟ සුඟ ගත හැකි මිටින
නීති පුළුලුකුළ රියසක යුරු තිසර තන
දුටු රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නො වෙති දෙවඟන

මෙන්න මේ  කවියෙන් අද  ලිපිය ආරම්භ කරන්න හිතුවේ වර්තමාන තුළ අපි කොහොමද කාන්තාව දකින්නේ කියන කාරණාව ඉස්මතු කරන්න.  අපි දන්නා කාරණාව තමයි වැඩිම ගීත කවි නිසදැස් නිර්මාණය වෙලා තියෙන්නේ කාන්තාව වෙනුවෙන්. ඒ ස්ත්‍රී ලාලිත්‍යය සොබා දහම හා බැදුණු අපූරු නිර්මාණයක් වන නිසාමයි. අපි අහලා තියෙනවා තාපසයන්ගේ පවා දැහැන බිඳින්න ස්ත්‍රී ලාලිත්‍යයට හැකියාව ඇති බව. මේ ලාලිත්‍ය හිමි කාන්තාවම ජීවිතයේ දුක් කමිකටොලු හිනා මුහුණින් විද දරා ගනිමින් අනෙකාගේ මුහුණට සිනහව කැන්දන්න කරන වෙහෙස අපමණයි. ඒ නිසාම කාන්තාව කියන්නේ සමාජය තුළ සිටින සුවිශේෂීම හා සුන්දරම සම්පතක්.

පුංචි ළදරියකව සිට වයසින්  මුහුකුරායත්ම පැවැරෙන රාජකාරිය නිසි අයුරින් වගකීම් සහිතව  කිරීමට බැඳී සිටින්න ඇයට සිදුවන්නේ කාන්තාවක් වූ  නිසාදෝ යයි විටෙක සිතෙන අවස්ථා නැතුවා නොවේ. බ්‍රාහ්මණ යුගයේ ළදැරියක් ඉපදීම අසුබ ලකුණක්. ඒ වගේම සැමියා නැති ගැහැණිය අසුබ ලකුණක්. ඒ අසුබ ලකුණ නිසාම එදා කාන්තාවට සති පූජාවට බිලි වන්නටත් සිදු වුණා. නමුත් අද ගෞරවයේ ප්‍රථම ස්ථානය හිමි වන්නේ ඇයටයි. ඇයගේ සෙනෙහස තුළින් පවුල් සංස්ථාවම හරි අපූරුවට එක් තැනක ගොනු කරලා තියන්න, බන්ධනය කරන්න ඇයට හැකියාව ලැබිලා තියෙන්නේ මේ සොබා දහමින් ලැබුණු දායද නිසාමයි.

කාන්තාව යනු ජීවයේ උල්පතයි. ඇයගෙන් තොරව මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මක් නොමැත. අද සමස්ත ලෝකවාසින්ම මුහුණ දී ඇති ගැටළුව හමුවේ කාන්තාව සුක්ෂම ලෙස තම පවුල වෙනුවෙන් කැපකිරීම්  කරමින් සිටී. සකසුරුවම්කම ඇගේ ලේවලට බද්ධ කරගෙන ඇය තම පවුල වෙනුවෙන් වෙහෙස වෙන හැටිත් දරුවන්ගේ අනාගතය සරි කරන්නට ඇය ගන්නා උත්සාහය මිල කරන්නට නොහැකි බව නම් අපි හොඳින්ම දන්නා කාරණාවක්. තම දෛනික කටයුතුවලට අවැසි දෑ තමන් විසින්ම සකසා ගනිමින් ඉතා විශාල වශයෙන් වියදම් වූ මුදල් ඉතිරි කරන්නට ඇයට හැකියව ලැබී  තිබෙන්නෙත්  ඇගේ නිර්මාණශීලි හැකියව නිසාමයි.

වෙනසට ලක් වෙන්න මිනිසුන් විදිහට අපිට බොහොම අමාරුයි නමුත් ඕනෑම පරිසරයකට සරිලන ලෙස ජිවනෝපාය සකසා ගැනීමට ඇති හැකියාව ඇයට පිහිටා ඇත්තේ ඇයත් මේ සොබාදහමේ අපූරු නිර්මාණයක් වූ නිසාම බව වැටහෙනවා.

කටුස්සා  පාට මාරු කිරීම තුළ උගේ ආරක්ෂාව තහවුරු කර ගන්නවා. තමාගේ මෙන්ම පවුලේ ආරක‍ෂාව, තම පවුලේ ගෞරවය ආරක‍ෂා කර ගැනීම වෙනුවෙන්  අන්‍යන්ට හානි නොවන උපක්‍රම භාවිත කිරීම නුවණැත්තාගේ  ක්‍රමවේදයක්. ගැහැණියකට තිඛෙන ඒ අරුම පුදුම සූක්ෂම  බුද්ධිය පවුලක් දියුණුව කරා ගෙන යන හොඳ අත්වාරුවක්. ඔ්නම අභියෝගයක් හමුවේ ඒ අභියෝගයට මුහුණ දෙන්න, වෙනස් වීම් හොඳින් දරා ගන්න ඇයට තිබෙන ආත්ම ශක්තිය ප්‍රශංසනීයයි.
ජිවිතයේ අනේක විද දුක් ගැහැට හමුවේ ජීවන ගමන පැද යන කාන්තාවන්  ජීවිතය ජය ගැනීමේ සටන තුළ නොබියව ඉදිරියට පැමිණ තම ආදරණියන් වෙනුවෙන් තමන්ගේ අවශ්‍යතාවයන් කැප කරමින් තම ආරණියන්ගේ ජයග්‍රහණ දෙස බලා උපේක‍ෂාවෙන් සතුටු වන ආකාරය නම් හරිම අපූරුයි.
තම පවුල වෙනුවෙන්, අනේක දුක් විඳින අනෙකා වෙනුවෙන් වෙහෙස වීමටම උපන් ඇය ලෝකයක් ජීවත් කරවන හරිම සුන්දර වස්තුවක්. ඇගේ කරුණාව ආදරය අවශ්‍යම අවස්ථාවලදී අවශ්‍යම තැන සොයා එය ලබා දීමට ඇති ඉව ඇයට ලැබුණේ කොතනින්ද යන්න සොයා ගැනීමට තවමත් නොහැකි වී ඇත්තේ ඇගේ දයා ගුණ දෙවෙනි වන්නේ බුදුන්ට පමණක් බැවිණි. ගෙදර බුදුන් අම්මා බව අපි අදත් සිහිපත් කරන්නේ හදවතේ ඇතිවන අපරිමිත සෙනෙහස සමගිනුයි.
සුකුමල ළද බොළඳ තරුණිය උත්තරීතර මව් පදවියට පත් වීමත් සමග ඇය දරාගැනීමෙන් පරිපූර්ණ වූ යකඩ ගැහැනියක් බවට පරිවර්තනය වෙයි. ජීවන ගමන තුළ ගරු නාමයන්ගෙන් පිදුම් ලබන ඇයම විටෙක නිගරු නාමවලටත් පත් වෙන්නේ ඇයගේම වරදින් නොවන බවට ඕනෑතරම් සාක‍ෂි අද සමාජය තුළ තිබේ.

නිරන්තරයෙන් ආදරය කරුණාව දයාව අපේක්ෂා කරන ඇයව අසරණ කරන්නට උත්සාහ කරන පිරිස අද පමණක් නොව ඈත අතීතයේ සිටම සිටි බවට මේ හොඳම උදාහරණයක්

මිණි මිණි පොදේ ගැන අඳුරේ කන මදුරු
බල්ලෙක් ඉඳන් උදුබුරුලයි උගේ නපුරු
කෙල්ලෙක් ඉඳන් දොර නාරි ඇගේ නපුරු
මල්ලක් කදුරු කන්නෙමි විගස දොර ඈරූ
කාන්තාවන්ගේ අනුකම්පාව ලබා ගෙන එමගින් ඵල ප්‍රයෝජන ලබා ගන්නා අවස්ථාවාදී මිනිසුන් කෙතෙකුත් සිටියත් හොඳ සිහි නුවණ ඇති ගැහැණිය එවැනි අවස්ථා මගහැර යාමට ද ඉතා හොඳින් දන්නා හපනියන් බව ඊළග කවියෙන් ඔබට වැටහෙනවා ඇත.

අට පහ නොදන්නා තෝ කාගේ කව්ද
බසක් නැතිව එන්නට කිවේ කව්ද
ගසක් නැතිව දළු ලියලන්නේ කොහිද
මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද

ඕනෑම දෙයක් හොඳ සිහි නුවණින් ස්ථානෝචිත ප්‍රඥාවෙන්  යුතුව කටයුතු කරන්නට හැකි කාන්තාවට මෙලාව ජය ගැනීමට නොහැක්කේ මන්ද? ඔබ ඔබේ සැඟව ඇති ශක්තිය ගැන විශ්වාස තබන්න. ඔබේ ගමනේ අවසානය ඔබේ ආදරණියන්ගේ සිනහව මත තබන්න. තම පවුල වෙනුවෙන් අනේක දුක් විඳින අනෙකා වෙනුවෙන් වෙහෙස වීමටම උපන් ඔබ සොබාදහමේ අපූරු නිර්මාණයක්. ඒ සොබාදහමේ අපූරු නිර්මාණයේ ශක්තිය ඔබටම දිනක වැටහෙනු ඇත.

රේණුකා බණ්ඩාරිගොඩ

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *