හීනවලට තටු වියන්න
පාට කරලා පියාඹන්න…
දවස් 365 ක් ගතවෙලා ගිය ඉක්මන. සමහර වෙලාවට හිතෙනවා මේ කාලය යන වේගය වැඩීද කියලත්. නමුත් ඇත්තම දේ තමයි, කාලයට සාපේක්ෂව අපි කාර්‍යබහුල වෙලා කියන එක. ඒත් කාර්‍යබහුල වෙලා නම් ඇයි හිතන්නේ “මොනද අපි කළේ” කියලා. හරි… අන්න එතන තමයි ප්‍රශ්නය. එහෙම නැත්නම් අපි උත්තර හොයන්න ඕන ගැටලුව තියෙන්නේ.
අද මම කියන්නේ අපේ ජීවිතයේ ඉලක්කවලට යන්න පුළුවන් සරල ක්‍රමයක් ගැන.
ආපහු යමු පහුගිය අවුරුද්දට… මොකද බයයි වගේද? නෑ… නෑ… බය වෙන්න එපා.. මාස්ක් එකක් දාගෙන, විෂබීජ නාශක දියරයකුත් ඔයා ළඟ තියනවා නම් ඔයා බොහෝදුරට ආරක්ෂිතයි.
2020… අමතක කරන්නම බැරි වසරක්. සමහරු කියනවා 2020 අවුරුද්ද මුළු ලෝකයේ තියන හැම තැනකින්ම මකලා දාලා, 2021 වසර 2020 විදිහටම නම් කරන්න ඕනේ කියලා. මොකද මේ 2020 වසරේ බොහෝදෙනා හිටියේ ගෙදරට වෙලා. ලොක් ඩවුන් වෙලා නේ… ඒකයි. නමුත් මට අනුව නම් අපි එහෙම වෙන්න ඕනේ නෑ. මේ 2020 වසරේ අපි බොහෝ කාලයක් ගෙදරට වෙලා හිටියට අපි අලුතින් පුරුදු පුහුණු වූ දේවල් සහ අපේ ජීවිතයට අලුතින් එක් කරගන්න පුළුවන් වුණු තරු ලකුණු හුඟාක් තියනවා.
සමහර අමතර රැකියා කරලා මුදල් සොයා ගත්තා. ඉතාම සරලව ජීවත්වන විදිහ අපි ඉගෙන ගත්තා. පවුලේ අය සමග, අසල්වැසියන් එක්ක සතුටින් සමාදානයෙන් ඉන්න පුරුදු වුණා… පිරිසිදුව ඉන්න, දුරස්ථභාවය තියාගෙන හදවතින් ළංවෙන්න, ඔයවගේ පාඩම් කීයක් අපි ඉගෙන ගත්තාද… ඉතින් හිතෙන්නේ නැද්ද අනිත් හැම අවුරුද්දකටම වඩා 2020 තමයි හොඳම අවුරුද්ද කියලා…
හොඳයි ඒ කියන්නේ අපිට අලුත් අවුරුද්දට යන්න කලින්ම අවශ්‍ය කරන උත්තේජනය, ධෛර්යය, මොරාල් එක ලැබිලා තියනවා…
දැන් 2 වැනි පියවරට යමු…
2021 කියන්නේ අලුත් නැවුම් බලාපොරොත්තුවක්… ඒ නිසා මුලින්ම ඔයාගේ හදවත ඔය බලාපොරොත්තුවලින්, අරමුණුවලින් පුරව ගන්න. ඊට පස්සේ 2021 දින 365 ඒ ඒ අරමුණු, බලාපොරොත්තු ඉටු කරගන්නවා කියන දවසක් නිශ්චිතව ලකුණු කරන්න. හැමදාම උදේට ඒ දින පිළිබඳවත් තමන්ගේ බලාපොරොත්තුවේ, අරමුණේ තත්ත්වය පිළිබඳවත් විමසිලිමත් වෙන්න… දිනය කල්ඉකුත් වෙන්න කලියෙන් ඒ අරමුණු මුදුන්පමුණුවා ගන්න උපරිම උත්සහයක් දෙන්න.
මේක සරල ක්‍රමයක් වගේ පෙනුනට කියන තරම් සරල නෑ කරනකොට… ඒකට ඕනේ අසීමිත කැපවීමක්…
2021 වසර නිකං ඔහේ ගෙවෙන්න දෙන්න එපා…
ඒක ඔබේ ජීවිතයේ ස්වර්ණමය වසර කර ගන්න…
තවත් ලිපියකින් ඉක්මනින් හමුවෙමු…
ජය වේවා!
සයොනාරා.
මම සේනක