එන්න, 2021දි ඔයාගේ හිතේ බර ‘ලොකු අක්කට’ කියන්න…
අවුරුද්දක් ලබනවා කියන්නෙම අපි අලුත් වෙනවා කියන එකට. ගෙවල්දොරවල් සෝදලා එන සුවඳ, අලුත් ඇඳුම් පැළඳුම්වලින් හමන සුවඳ, කිරිබත් කැවුම් කොකිස්වලින් දැනෙන සුවඳ විතරක් නෙවෙයි ගස්කොළන්වල පවා තියෙන්නේ අපූරු නැවුම් බවක්. මුළු පරිසරේම සුවඳයි… මල් පිපුණු, නොපිපුණු හැම ගහක්, කොළයක් පවා හිනාවෙනවා වගේ…
ගෙවුණු අවුරුද්දකම කුණු සෝදලා අලුත් වෙනවා වගේ හිතේ ගොඩගහගෙන ඉන්න කුණු හෝදලා අයින්කර ගන්න ඔයා කවදකහරි හිතලා තිබුණද? ඒ කුණු පිරුණු හිත හරි බරයි කියලා දැනිලා තිබුණද? ඒ හිතේ බර හෑල්ලු කරගන්න කාට හරි කියන්න ඕනෑ කියලා මොහොතකට හරි හිතුණද? ගෙදර කෙනෙක්ටවත් කියාගන්න බෑ කියලා හිතුණු දවස් ගෙවිලා ගියාද?
එන්න….අපි එකතුවෙලා ඒ බර බිමින් තියමු…. “ලොකු අක්කා” ඉන්නේ ඔයා එක්ක එකතුවෙලා හිතේ කුණු අයින්කරලා ඔයාට සුවඳ හමන අලුත් මනුස්සයෙක් විදියට 2021 අවුරුද්දට මූණ දෙන හැටි කියලා දෙන්න….
ඔයා කොයිතරම් දක්ෂ කාන්තාවක්ද කියන එක නැවත නැවතත් මෙනෙහි කරන්න…අනුන්ගේ යහපතට ආශිර්වාද කරනගමන් තමන්ගේ හීනවලට හෙමි හෙමින් යන්න. අනිත් අයගේ හීන අස්සට ගිහින් ඒවා තමන්ට නෑ කියලා හිතනවට වඩා තමන්ගේ හීනවලට පාරක් කපාගන්න එක ඔයාට පහසුවක් වේවි.
මුලින්ම හොඳ හුස්මක් අරන් ඇස් පියාගෙන කල්පනා කරන්න ඔයාට ඔයාව කොයිතරම් වටිනවද කියලා… ඉන්පස්සේ ඔයාව වටින අය ගැන මතක් කරගන්න… ඒ මිනිස්සු එක්ක අලුත්ම දවස් 365ක් ආදරෙන් ගෙවන්න පුළුවන් කියන දේ විතරක් ඔලුවට දාගන්න… පුළුවන් තරම් විය හැකි නරකම දේවල් ටිකකට අමතක කරලා විය හැකි හොඳම දේවල් ගැන කල්පනා කරන්න… තමන්ගේ ළඟම යෙහෙළියටත් ඒ මන්තරේ කියලා දෙන්න… කොටින්ම මේ අවුරුද්ද පුරාම තමන්ගේ වටේ ඉන්න අයගේ ජීවිතවලට සතුට බෙදා දෙන්න උත්සාහ කරන බව ඔයාගේ හිතට ආයෙ ආයෙත් මතක් කරලා දෙන්න…
‘ලොකු අක්කා’ එක්ක එකතුවෙලා ඉන්න… ඔයාටම ලොකු අක්කා කෙනෙක් හිටියත් නොහිටියත්; ඔයාගෙම ලොකු අක්කා ළඟින් නොහිටියත් මේ ‘ලොකු අක්කා’ හැමවෙලාවකම ඉන්නේ ඔයාගේ හිත සැනසීමෙන් පුරවන්න උදව් කරන්න… ඔයා ළඟ තියෙන සතුට අනිත් අයට බෙදන හැටි ටිකෙන් ටික අපි කියලා දෙන්නම්…