ඔයාගේ හිතේ බර 'ලොකු අක්කට' කියන්න

ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - බෝඩිමේ ජීවිතය​

“මට බෝඩිමට යන්න බෑ…”
“ඇයි ඒ?”
“මගේ රූම් එකේ ඉන්න සුරංගිගේ වැඩ මට අල්ලන්නෙම නෑ. වැලි කැටයක් පෑගෙන්න බෑ. පුදුම විකාරයක්…”
“ඉතින් දෙන්නා කතාවෙලා කාම⁣රේ අතුගාලා සුද්ධකළා නම් ඉවරයිනේ…”
“එහෙම තමයි කතාවෙලා ඉන්නේ. ඒත් ඉතින් එයාට ඕනම විදියට මට ඉන්න බෑනේ …නීති දාන්න එනවා ලොකු අක්කා වගේ….”

ගෙදර “ලොකු අක්කා” නීති දැම්මට මේ ලොකු අක්කා නීති දාන්නේ නෑ. ඒ නිසා අපි කතාකරමු; බෙදාගමු ඒ හැම අත්දැකීමක්ම, ඔයාලට තියෙන හැම ගැටලුවක්ම “මේ ලොකු අක්කට කියන්න”…බෝඩින් ජීවිතේ රහතැන්, අමිහිරි තැන්, රසවත් කරගන්න විදිය වගේම ඉවසන විදිය ගැන මම කියලා දෙන්නම්…

බෝඩිම අපායක්ද දිව්‍යලෝකයක්ද කියලා මම ඔයාලගෙන් ඇහුවොත් ගත් කටටම ඔයාලා ගොඩක් අය කියන්නේ “අපෝ අපායක්නේ” කියලා… ඉතින් අපායක ඉඳලා වැඩට ගිහින්, මහන්සි වෙලා වැඩකරලා අපායටම ආයෙ යන එක කොයිතරම් අපරාධයක්ද?

අපාය දිව්‍යලෝකයක් කරන්න කවුරුහරි එනකම් බලන් ඉන්නවද? එහෙමත් නැත්නම් ඒක තමන්ට ඉන්න ආස හිතෙන විදියෙ තැනක් කරගන්නවද කියන තීරණේ තියෙන්නේ ඔයාගෙ අතේ…

අපි හැමෝගෙම ළඟ සතුට කියන දේ උතුරන්න තියෙනවා. හැබැයි අපි දන්නේ සතුට තියෙන්නේ හිනාවේ කියලා. ඒත් සතුට තියෙන්නේ හිනාවේ විතරක් නෙවෙයි. හිනාවෙන හැමෝම ඉන්නේ සතුටිනුත් නෙවෙයි.

අපි මුලින්ම යමු ඔයාගේ බෝඩින් කාමරේට. කොයිතරම් පොඩි ඉඩක්ද තියෙන්නේ කියලා ඔයා කියයි. ඒත් ඒ පොඩි ඉඩ ඇතුළේ කොයිතරම් නම් අනවශ්‍ය දේවල් ගොඩගහගෙන ඉන්නවද බලන්න. ඒ හැ⁣මදේම අයින් කරගන්න. කිලිටි රෙදි සෝදන්න. මකුලු දැල් කඩලා අලුත් ඇඳ රෙදි දාලා බලන්න; ඔයාට දැනේවි අමුතු සැනසීමක්.

බෝඩිමේ ඔයත් එක්ක ⁣එක කාමරේ බෙදාගන්න යෙහෙළිය ගැන ඔයාට තියෙන්නේ මොනවගේ හැඟීමක්ද? සමහරවිට එයා අතිශය පිරිසිදු කෙනෙක් වෙන්න ඇති. සමහරවිට ඔයා බලාපොරොත්තු වන තරමට වඩා අපිරිසිදු හෝ අපිළිවෙළ කෙනෙක් වෙන්නැති. ඒත් අපි තේරුම් ගන්න ඕනෑ අපි හැමෝම එක සමාන නෑ කියලා. ඔයා හිතන පතන හැමදේම සම්පූර්ණ කාමර සගයෙක් හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. හිතන්න අපේ ගෙදර සහෝදර සහෝදරියන් පවා එකම විදියට හිතන්නේ නෑ නේද? එහෙනම් අපි කොහොමද යාලුවෙක්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්නේ?

ඒ නිසා ඔයා සමබරව දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න. බෝඩින් කාමරේ බෙදාගන්නවනම් ඔයා ආස විදියට වගේම අනිත් කෙනාගේ කැමැත්තටත් ඉඩ දෙන්න. ඒ කෙනා ගැන අයහපත් සිතිවිලි අයින් කර ගන්න. ඉවසන්න පුරුදුවෙන්න. ඒක සුන්දර තැනක් වෙන්න නම් ඉස්සෙල්ලා ඔයා ඔයාගේ හිතෙන් ඒ සුන්දරත්වය ගොඩනඟාගන්න. එතකොට ඔයාට දැනේවි ඔයා යන්නේ බෝඩිමට නෙවෙයි, තමන්ගේ ගෙදරට කියලා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *