තමන් ගැන බලා ගැනීම

ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - තමන් ගැන බලා ගැනීම

තමන් ගැන බලා ගැනීම, එහෙමත් නැත්නම් self care ගැන හාන්කවිසියක දෙයක් ගොඩක් කාන්තාවන් දන්නේ නෑ.

‘ලොකු අක්කා’ මේ කරන්න හදන්නේ ආත්මාර්ථකාමිකම උගන්වන පාඩමක් කියලා හිතන්න තරම් කලබල වෙන්නෙපා. අපි කාන්තාවන් විදියට බොහෝ වෙලාවට අපි ගැන නොහිතා ඉන්න එක ඒ තරම් සුදුසු නැහැ.

තමන්ගේ සුබසිද්ධිය ගැන තමන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් වෙහෙසෙන්නේ නැති බව ඔයා දැනගෙන නම් ඉන්නේ මෙතනින් එහාට අපි කතාකරන හැමදේම ඔයාට තේරුම්ගන්න පුළුවන් වේවි.

ඔයා ගොඩක් වෙලාවට උදේ ඇහැරුණු වෙලාවේ ඉඳන් රෑ නිදියන මොහොත දක්වා කරන වැඩ ගැන කවදාවත් සමාලෝචනයක් නොකරන කෙනෙක් වෙන්න ඇති. අඩුමතරමේ වෙලාවට කනවා බොනවද කියන එක ගැනවත් හිතලවත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් තමන්ගේ ළඟම අය, ගෙදර සාමාජිකයන් ගැන සියලුම දේවල් හොයනවා බලනවා වෙන්න ඇති. ඒත් එක මොහොතක් හිතුවද ‘තමන්ට කොහොමද’ කියලා?

උදේ වැඩට යන්න කලින් නාලා අලුත් ඇඳුමක් ඇඳගත්තම මම හරි පිරිසිදුයි සෞඛ්‍යාරක්ෂිතයි කියලා හිතන්න තරම් පටු චින්තනයක් තියාගන්නෙපා. වි⁣ශේෂයෙන්ම මේ කාලවකවානුව තම තමන්ගේ අභ්‍යන්තර සෞඛ්‍යාරක්ෂිත බව ගැන වැඩිවැඩියෙන් හිතන්න වෙනවා. වෙලාවට කෑමක්, ඇඟට ව්‍යායාමයක් නැතිව තමන් ගෙවන හැම දවසක්ම ඔයා ඔයාගෙන් පළිගනිපු දවසක්.

එහෙම පළිගනිපු දවස් එකතුකරලා බැලුවොත් දවස් 365න් දවස් කීයද ඔයා ඔයාට අාදරේ කරලා තියෙන්නේ? ලෝකයට අාද⁣රේ බෙදන අය හරි අඩුයි කියලා ඔයාම කී දෙනෙක් එක්ක කියලා ඇත්ද? තමන්ට ආදරේ නැති කෙනෙක්ට කොහොමටවත් ලෝකෙට ආදරේ බෙදන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලා ඔයා ඔයා ගැන හිතන්න…රස්සාව කරන්න, යුතුකම් ඉටු කරන්න, ගෙදර අය ගැන හොයන්න බලන්න, බබාලා ගැන වෙහෙසෙන්න වගේම තමන් වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්න. අතට අහුවෙන අහුවෙන දේ කන්නේ නැතිව තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා ආහාර ගන්න…හොඳ නින්දක් පුළුවන් හැම දවසකම ගන්න බලන්න. තමන්ගේ රැකියා ආයතනයට අවංකව වැඩකරන්න. ඒකෙන් තෘප්තියක් ලබා ගන්න. වැඩිපුර ලැබෙන හැම සතයම ඉතිරි කරන්න. තමන්ගේ ශරීරයේ පෙනුම ගැන සැලකිලිමත් වෙන්න. ඊර්ෂ්‍යාව, දුක අයින්කරලා දාන්න.

ටික දවසක් යද්දි තේරේවි ඔයා ඔයාට අවංක කෙනෙක් වෙලා තියෙන බව. ඔයාට ඔයා දිහා බැලුවම සතුටක් දැනෙන බව. සෞඛ්‍යාරක්ෂිතව ඉන්නවා කියන්නේ බෙහෙත් නොබී ඉන්න එක විතරක් නෙවෙයි කියන එක…

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *