මගේ හිතේ ඇති දුකට කෙරුවා මන් වැරැද්දක්
ඒත් මට ඒ නිසා නෑනේ පසුතැවිල්ලක්
ඉස්පෙක්ටර් මහත්තයෝ අහන්නකෝ වතාවක්
මගේ කටඋත්තරය ඒක දිග කතාවක්…
මගේ පැළ්කොටේ මම සිටියේ දූ සමගමයි
මගේ බිරිඳ අප දමා ගිහින් ගොඩ කාලයයි
තරුණ විය එලඹෙද්දි දෝණි හරි ලස්සනයි
පියෙක් ලෙස මා රැක්කා මගේ පණ ඈ තමයි…
ජිවිකාවට කරේ හේන් ගොවිතැන තමයි
රෑට පැළ් රැකලා මා එන්නේ හිමිදිරියටයි
මා එනතුරා දුව ඉන්නේ මග බලමිනුයි
තාත්තේ කියා මා පිළිගන්නේ සතුටිනුයි…
ඇගේ අම්මා වාගේමයි දෝණි හරි කඩිසරයි
පාන්දර නැගිටලා ගෙදර වැඩ නිමකරයි
ඈ ගෙදර තනිවෙද්දී හිත මගේ දොස් කියයි
ඒත් මා අස්වැන්න රැකගන්න යා යුතුයි…
එදා හඳ නැති තරම් වටේටම කළුවරයි
ඇස් දෙකත් පියවුනා යන්තමට නිදිමතයි
ගැස්සිලා නැගිට්ටේ මගේ දෝණි සිහිවෙලයි
අමුත්තක් කියයි හිත යන්න දූ මඟබලයි…
සිතුනේ නෑ මට එදා හේනේ පැළ් රකින්නට
හිතේ ගැස්මට ගියේ මම දෝණි බලන්නට
වෙනසකුත් දැනුණා මට ඉඩමේ පය තියද්දිම
මැරෙන්නට සිතුනා මට දොර ඇරලා බලද්දිම…
මගේ හොඳම යාළුවා සිටියා මගේ දූ ළඟින්
මල්කැකුළ කෙලසලා ඌ හිටියේ බීමතින්
තාත්තේ කියා ඈ මුමුණද්දි හරි හෙමින්
බදාගෙන හැඬුවා මා ඇති දුකට ඉකිලමින්…
ඇඳුමේ ලේ තැවරිලා තැනින් තැන ඉරීගිය
මුහුණ ඇගේ මැලවිලා වින්ද දුක දරාගෙන
අවසාන හුස්ම පොද ඈ සෙමින් ගන්නකොට
මගේ කඳුළු පිසලුවා යනවා මං කියාගෙන…
මගේ දෝණි නැතිවුනේ සර් මගේ දෑත් උඩ
කොහොමදෝ ඉන්නේ මම පියෙක් ලෙස දරාගෙන
මිතුරාම හතුරාම වුනා මගේ කරුමෙකට
අහුවුනේ මන්නෙමයි කෙටුවා උගේ බෙල්ලටම…..
පවිත්‍රා දුලාංජලී
බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයා(ර්) රත්මලාන ආයතනය