ඇත්ත යාලුකම් හොයාගෙනද ඉන්නේ?
“හොඳම යාලුවා තරහා වුණාම ආදරවන්තයා දාලා ගියා වගේ” හැඟීමක් එනවා කියලා අපි කටවහරේ ඕනතරම් කියන කතාවක්. ඔයාටත් ඒ විදියටම දරුණු අත්දැකීම් ඇති. ඒත් මේ “යාලුවා” කියන වේෂයෙන් ඔයා ළඟට එන මිනිස්සු මැන නොගත්තොත් ඔයාට වෙන්නේ මුළු ජීවිත කාලෙම පසුතැවෙන්න.
ගොඩක් අය තමන්ගේ අම්මා තාත්තා දාලා නොදන්න පළාතක රැකියාවට එද්දි තනිකමක් දැනෙන්න පුළුවන්. ඒත් ඔයා නොදන්නවා වුණාට ඒ වගේ තනිවුණු අයම හොයාගෙන ඒ අයව කරදරවලට පටලවන්න බලාගත්තු “දේව වේෂයෙන් එන යක්කුන්ගෙන්” පරිස්සම් වෙන්න අපි දැනගන්න ඕනෑ.
අයේෂා එන්නේ බුලත්කොහුපිටිය ඈත ගම්මානෙක ඉඳලා. තාත්තා ඔත්පල නිසාත් අම්මා කුලී වැඩ කරන්න තරම් සනීපෙකින් නොහිටි නිසාත් එයාට වෙන තෝරගැනීමක් තිබුණෙම නෑ. ඉතින් එයා ටවුන් එකට එන්නෙත් තනියම. එයාට බෝඩිම හොයලා දෙන්නෙත් එයාගේ ෆැක්ට්‍රි එකේ සඳමාලි. සඳමාලි අයේෂා ආව දවසෙම එයා එක්ක යාලුවුණා. අයේෂව සඳමාලිගේ බෝඩිමටත් එක්කගෙන ගියා. එයාගේ කාමරේ ඉඩපහසුකම් හදලා දුන්නා. අම්මා තාත්තා නැතිව නොදන්න පළාතකට තනියම ආව අයේෂට සඳමාලි සහෝදරියක් වගේ වුණා…
අයේෂා සඳමාලි එක්ක හවුලෙ උයාගෙන කෑවා. නිවාඩු දවස්වල අතේ තියෙන සුළු ගානකින් ෆිල්ම් එකක් බලන්න ගියා. ගෙදර යද්දි අරන් යන්න ඇඳුම් ගන්න ටවුමේ තියන හැම කඩයක් ගානෙම ඇවිද්දා. සති දෙක තුනක් පහුවෙද්දි ආයේෂා ගැන හැමදෙයක්ම සඳමාලි දැනගන්නවා. අයේෂටත් සඳමාලි තරම් විශ්වාස කවුරුවත් නෑ. ඉතින් සඳමාලි හොයලා දීපු වරුණ එක්ක අයේෂා යාලුවෙන්න දෙපාරක් හිතුවේ නෑ. අයේෂා එක්ක යාලුවුණු වරුණ මාස දෙක තුනක් අයේෂගේ හිත දිනාගන්න විදියේ වැඩකළ නිසාම අයේෂට වරුණ ගැන සැකයක් ඇතිවුණේම නෑ. ඒත් අයේෂා ඊටපස්සේ මාස හය හතක්ම වරුණට රැවටිලා කල් ගෙවුවා. මේ අතරේ අයේෂට අහම්බෙන් “ලොකු අක්කා” ලියන කියන ඒවා කියවන්න පුළුවන්කම ලැබුණා…
ඒ වෙද්දි අයේෂා එයාගේ ආත්ම ගෞරවය ගැනවත් නොහිතා වැඩකරන්න පෙළඹෙන තරමට වරුණව විශ්වාස කළා. අයේෂා එකතුකරගත්තු හැම සතයක්ම වරුණ අරගන්න උත්සාහ ගත්තා. අයේෂාගේ නමට ලෝන් එකක් අරන් මාරුවෙන්න සූදානම් වෙද්දි තමයි ලොකු අක්කා අයේෂව වරුණගෙන් බේරගත්තේ… ඒ වෙද්දි සඳමාලිත් අයේෂා එක්ක තරහයි.
අයේෂා නූලෙන් බේරුණා. ලොකු අක්කා එයාට හැමදේම තේරුම්කරලා දුන්නා. අයේෂා තමන් විශාල රැවටීමකට අහුවෙන්න ගියපු බව දැනගත්තා. සඳමාලියි වරුණයි කරන්නේ බිස්නස් එකක් වගේ දෙයක්. අයේෂා වගේ ගෑනුළමයි වරුණට හොයලා දෙනවට සඳමාලිට වරුණගෙන් ගාණක් ලැබෙනවා. අයේෂාට වාසනාවට ‘ලොකු අක්කා’ වගේ කෙනෙක් මුණගැහුණු නිසා හොඳයි. ඒත් ඊට කලින් මේ බොරුවට අහුවුණු ගෑනුළමයින්ට තමන් කරපු මෝඩකම් ගැන පසුතැවෙන එකට වැඩිය දෙයක් අවසානේ ඉතිරිවුණේ නෑ. අයේෂාට අවශ්‍ය වුණේ එයාගේ කතාව කියලා තවත් කාටවත් ඒ වගේ දෙයක් නොවෙන තැනට වැඩ සිද්ධකරන්න. ඒකයි අපි මේ කතාව ඔයා එක්ක බෙදාගත්තේ….
යාලුවෙක්ගේ, සහෝදරයෙක්ගේ වේෂයක් අරගත්තු කෙනෙක් ඔයාට මේ වෙද්දිත් මුණගැහිලා ඉන්න පුළුවන්. ඒ අයට නොරැවටී ඉන්න තරම් සූක්ෂ්ම නොවුණොත් ඔයා පරාදයි. මතක් කරලා බලන්න; ඔයා ආශ්‍රය කරන අයගෙන් ඔයා පරිස්සම්ද කියලා…. සැක තැනක් තියේනම් ආයෙ ආයෙත් හිතන්න, “ලොකු අක්කා වගේ කෙනෙක් ජීවිතේට ලැබිලා තියේනම් ඔයා පරිස්සම්… එහෙමත් නැත්නම් ලොකු අක්කා එක්ක එකතුවෙලා ඉන්න….අපි ඉන්නවා ඒ හැමදේකින්ම ඔයාව බේරගන්න…..