පුතේ

පුතේ

පුතේ .. කෑම කනකොට සද්දේ ඇහෙන්න කන්න හොඳ නෑ… ඒ වගේම බත් ඇට බිම දාන්න හොඳ නෑ… කන වෙලාවට කතා කරන්න හොඳ නෑ… පුංචි කාලේ අපේ දරුවෝ කරන සමහර නරක පුරුදු නවත්වන්න අපි ඒවගේ ආදීනව කියා දෙමින් අපේ සංස්කෘතික වටපිටාව තුළ අපි අපේ දරුවන්ගේ හැදියාව ඉස්මතු කරවන්නට යම් යම් රීතින්  කරවනවා.

ඔබත් එවැනි රීතින් මාලාවකට යටත්ව හැදුණු දරුවෙක් වනවා නොඅනුමානයි.

ශ්‍රී ලාංකීය සමාජයේ බොහෝ කාලයක සිට පැවතාගෙන එන මේවැනි රීතින් අපේ චරිතය තුළ ස්වයං විනය ඇති කරලන්නට සමත් උනා කිව්වොත්  නිවැරදියි.
 
සමාජය තුළ අපි ගැටෙන සෑම අවස්ථාවකම සමාජය විනයානුකූලව පවත්වා ගන්න නීති මාලාවක් සකස්  කරලා තියෙනවා. නීති මාලාවක් සකස් කරලා බැඳල හිර කරලා මිනිසුන්ව හදන්න උවමනා වෙන්නේ නැ… මිනිසුන් තුළ ස්වයං විනය ආරක්ෂා කරගන්නවා නම්, පුංචි කාලේ ඉදන් නීති රීති මාලාවක් ඇතුළේ කොටු උන අපි හැමදමත් නීති මාලාව ඇතු‌ළෙදී විතරක් පරිස්සම් වෙන්න වෙර දරනවා.

නමුත් ඔබ මේ කොටුවෙන් ඉවතට ඇවිල්ලා හිතන්න… එවිට ඔබටත් පෙනේවි නීති රීති දාලා හිර කරනවට වඩා අපි අපේ ඇතුළේ ඉන්න යහපත් මනුසත් ගති ඉස්මතු කරමින් ස්වයං විනයකට යටත් මිනිසුන් කොට්ටාශයක් උනොත් අපිට  සැහැල්ලුවෙන් ජිවත් වෙන්න පුලුවන්ද  කියලා. බොහොම කාලයක ඉඳලා පැවත එන බොහෝ දේවල් එක පාරටම අපිට වෙනස් කරන්නට බැරි වේවි. නමුත් ඔබ හිතාමතාම ඔබව වෙනස් කරගන්නවා නම් නිරී රීති රාමුවක් තුළ ඔබගේ චරිතය හැසිරිය යුතු වන්නේ නෑ.

බොහෝ ආගම්වල අපට කියා දෙනවා තවත් මනුස්සයෙක්ට කරදරයක් නොවී ජිවත් වෙන ක්‍රියා පිළිවෙළ අපට අනුගමනය කරන්නට හැකි නම් අපි විනයානුකූල සමාජයක කොටස් කරුවන් බවට පත් වෙනවා.

පාසල් කාලයේ පවා දැඩි ලෙස ශිෂ්‍ය විනය සකස් කරන්නට නීති පනවා, ඒ සඳහා සමාජිකත්වය දෙනවා. ආයතන තුළ නීති රීති කඩ කළ විට දඩුවම් පමුණුවනවා. රටේ නිතිය අවභාවිත කළ විට ඒ සඳහා දඩුවම් ලබාදීමට වෙනම පිරිසක් යොමු කර තිබෙනවා.

මේ සියල්ල අභිබවා යන්නට ස්වයං විනයක් පවත්වා ගන්න අපට හැකි නම් පවුල තුළ, සමාජය තුළ, රට තුළ ශික්ෂාකාමී මිනිසුන් පිරිසක්  බිහි කරමින් සහෝදරත්වය පතුරවන්නට අපට හැකියාව ලැබෙනවා.

වෙන අයෙකු යොදවා නීති රීති තද කොට අපිව බලාගන්නට දීම සුදුසු ක්‍රියාවක්ද කියලා ඔබම හිතන්න. ඊට වඩා අපිට අපිව හොඳින් බලා ගන්නට, අපි ගැන විශ්වාසයෙන් කටයුතු කරන්නට හැකි නම් නීති මාලාවක් යොදවා අපිව හැසිරවිය යුතු වේද?

ඔබ ඔබ තුළම විනය පවත්වා ගන්න. ඔබට වගකිව හැක්කේ ඔබටම පමණයි. එය තදින් විශ්වාස කරන්න. ඒ විශ්වාසය තුළ ඔබට ඔබේ පවුලේ විනයානුකුල බව ආරක්ෂා කළ හැකියි.

ඇගිල්ලක් දික් කර ඔබ ගැන පැවැසීමට නොහැකි ලෙසට ඔබ ඔබ ගැන වගබලා ගන්න. එවිට ඔබට ඔබ ගැන සතුටු විය හැකියි. රටට සමාජයට බරක් නොවී නිදහස් මිනිසකු ලෙස මේ පොළෝතලයට පස් වීමට ඔබට හැකි වන්නේ එවිටය.

සටහන බුද්ධිකා කාරියවසම්

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *