නුඹට සෙනෙහසින් - විරහව දරා ගැනීමත් එක්තරා කලාවක්

නුඹට සෙනෙහසින් - විරහව දරා ගැනීමත් එක්තරා කලාවක්

පෙබරවාරි මාසය පටන් ගන්නවත් එක්කම බොහෝ දෙනාගේ කතා තේමාව වෙන්නෙ “ආදරය”. ඒ විතරක් නෙමෙයි, වෙළද සැල්, සාප්පු සංකීර්ණ මේ ඕනෑම තැනක අපිට දකින්න ලැබෙන්නෙ රතු පාටින් හැඩගැන්වුණු ආදරණීය සංකේත. ඉතින් ආදරයට මේ තරම් තැනක් හිමි වෙද්දි, ආදරය එක්කම බැඳිලා තියෙන “විරහව” එහෙමත් නැත්තම් “ආදර පරාජයන්” ගැනත් කතා නොකර බෑ නේද?

විරහව ගැන කතා කරන්න කලින් අපි ආදරයෙන් පටන් ගමු. ආදරය කියන්නෙ අපි ඕනෑම කෙනෙක්ගෙ හිතේ ඇතිවෙන බොහොම පිවිතුරු හැඟීමක්. මේ හැඟීම පුද්ගලයාගේ සිතේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම මේ හැගීම කාලයත් එක්ක විවිධ හේතූන් මත වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම් එක්ක ආදරණීය සම්බන්ධතාවලට ධනාත්මකව සමු දීම තරමක් අපහසු දෙයක් කිව්වොත් ඔබ මා සමග එකඟ වේවි. මොකද, අපි ආදරය කරන දේවල් අපේ ජීවිතවලින් ඈත් වෙනවට අපි දශමයක්වත් කැමති නැති නිසා.

 නමුත් අපි දන්නවා, ලෝකෙ නොවෙනස් වන යම් දෙයක් වේ නම් ඒ “වෙනස් වීමයි” ඉතින් ඒ නිසාම ආදරය විතරක් නොවෙනස්ව පවතීවි කියල බලාපොරොත්තු වෙන්න බෑ නේද?

මොහොතක් හිතන්න, ඔබ ආදරය කරල ඇති, ආදරය ලබල ඇති, සමහරවිට ආදරයෙන් පරාද වෙලත් ඇති, ආදරය නිසා නොයෙකුත් ප්‍රශ්න ඇති කරගෙන ඇති. නමුත් මේ වෙද්දි, ඒ හැම දෙයක්ම ඔබේ අතීතයට එක් වී හමාරයි.

 හැබැයි ඒ අතීතය අපිට හරිම වැදගත්. මොකද, ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න, අපේම අතීතය අපිට උදව් වෙනවා. ඔබ දැනටමත් ආදරේ කරනව නම්, ආදරේ කරන්න හිතන් ඉන්නව නම්, ආදරේ ගැන කලකිරිල ඉන්නව නම්, ආදරේ කරන්න බයෙන් ඉන්නව නම්, මෙන්න මේ ටික හොඳින් තේරුම් අරගන්න. ඔබට වරදින් නෑ.

■ ආදරය කියන්නෙ මානුෂීය හැඟීමක් මිසක් අයිති කරගැනීමක් නෙමෙයි.

■ ආදරය බලෙන් ලබාගන්න හිතන්නවත් එපා.

■ ආදර සම්බන්ධතා සදාතනික විය යුතු යැයි නියතයක් නෑ.

■ සැබෑ ආදරය තුළ යටත් කරගැනීම් නොමැති අතර, නිදහස උපරිමයෙන්ම ලැබෙනු ඇත.

■ තමන්ට ආදරය කරන කෙනාට පුළුවන් නම් වෙනස් වෙන්න, තමන්ටත් පුළුවන් වෙන්න ඕනා ඒ වෙනස දරාගන්න.

■ ආදර සම්බන්ධතාවයක අවසානය, ජීවිතේ අවසානය නොවන බව හොඳින් මතක තියා ගන්න.

■ කාටත් කලින් ඔබ ඔබට ආදරය කරන්න අමතක කරන්න එපා.

■ ආදර සම්බන්ධතාවයක් නැවතුන මොහොතේ සිට පරාජිතයෙක් වෙන්න එපා, ඒ ප්‍රතික්ෂේප වීම භාරගෙන ඉදිරියටම යන්න.
ආදරේට අපි කොයි තරම් ලොකු වටිනාකමක් දුන්නත්, ආදරේ කියන්නෙ තවත් එක හැගීමක් විතරක් වන නිසා, ඒකට අපේ වටිනා ජීවිතයට බලපෑම් කරන්න දෙන්න බෑ…එහෙම නේද?

ජීවිතේට එන දුකක් සතුටක් බවට පෙරළා ගන්නට හැකිනම් ඔබ තරම් නිදහස් කෙනෙක් මේ ලෝකෙවත් නැති වේවි…. තමන්ගෙ ආදරණීයයන්ගෙන් වෙන්වීම ජීවිතේ ඔබ ලබන තවත් එක් අත්දැකීමක් කියා සිතා, අවබෝධයෙන් යුතුව ආදර සමුගැනීමකට ධනාත්මකව මුහුණ දෙන්න හැකි නම්, ඔබ තරම් ජයග්‍රාහකයෙක් මේ ලෝකෙවත් නැති වේවි….

මනෝ උපදේශිකා
අමා සුබසිංහ

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *