ආදරය කියන්නේ හරි පුදුමාකාර හැඟීමක්. වචනවලින් විස්තර කරලා ඉවර කරන්න අමාරු අතිශය සංකීර්ණ සංවේදී බැඳීමක්. අපි ආදරය ගැන ඉගෙන ගන්න පටන් ගන්නේ අම්මගෙ කුස තුළ ඉන්න කාලෙදි. ඒ විදියට ආදරය ගැන ඉගෙන ගන්න පටන් ගන්න අපි ටිකෙන් ටික යොවුන් වියට එළැඹෙනකොට යොවුන් ආදරය ගැන හිතන්න පටන් ගන්නවා. ආදර කියන පුදුමාකර, උත්තරීතර හැඟීම ඇතුළෙ ගැබ් වෙලා තියෙන සුන්දරත්වය, අර්ථාන්විත බව හරියට අඳුනගත්තොත් ආදරය නිසාම අපිට ජීවිතය තේරුම් ගන්න පුලුවන්. ආදරය නිසාම අපිට ජීවිතය විඳින්න පුලුවන්. අවංකත්වය, විශ්වාසය, එකිනෙකා අතර තියෙන අවබෝධය, සෙනෙහස හැමදාමත් ආදරය කියන අතිශය සුන්දර හැඟීමට වර්ණ එක් කරනවා.
එතකොට රාගය ආදරයට අදාළ නැද්ද? ඔබට එහෙම හිතෙන්න පුලුවන්.
ඔව්… පවුල් ජීවිතයක් ගතකරනකොට රාගය අවශ්‍යයි. හැබැයි ආදරය කියන්නේ රාගය නෙමේ. අවංක ආදරයකට, හදවතින් අවංකව බැඳුණු දෙන්නෙකුට පුලුවන් රාගයෙන් තොරව වුණත් ආදරණීය විදියට ජීවත් වෙන්න.
ආදරය කියන්නේ රාගය කියලා ඔයාට හිතුනොත් අන්න ඒ දවස තමයි ඔයා ආදරෙන් පරදින දවස… මෙන්න මේ හැඟීම නිසා ඔයා ජිවිතේ කවදාවත් නොහිතන නොපතන බොහෝ ප්‍රශ්නවලට ගැටලුවලට පවා ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුලුවන්.
වර්තමානයේ බිහිවෙන සමහර ගීත, ටෙලි නාට්‍ය ආදරය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරගත්තට, ආදරය නොලැබෙන තැන, ආදරය අහිමි වෙන තැන වෛරය වපුරන්න පුරුදු කළාට සැබෑ ආදරය හරිම ආදරණීයයි. පිවිතුරුයි. ඒ ආදරය හැමදාමත් ජීවිතය ආලෝකයෙන් සැනසීමෙන් පිරෙව්වා මිස ඒ ජීවිතය අන්ධකාරය වෙත අරන් යන්නේ නැහැ.
ඒ නිසා තමන්ගේ ආදරයට අවබෝධයෙන් ආදරය කරන්න…
ආදරය විඳින්න. ආදරය කියන සුන්දර හැඟීම ඇතුළෙ තියෙන උත්තරීතරත්වය හදවතේ තියාගෙනම.
නදීරා ප්‍රශංසනී
මනෝ උපදේශිකා