“පැරදුණා මිස වැරදුණේ නැත”; ඒ මගේ මෝටර් රථයට ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථයක සටහන් ව තිබූ වැකියකි. මම සිතන්නට වීමි. පැරදීම සහ වැරදීම යනු එකක්ද? නැතහොත් දෙකක්ද? වැරදෙන අය පැරදෙන්නේද? පැරදුණත් නොවරදින අය සිටිත්ද? මේ ආදී අනේකවිධ ප්‍රශ්න අපගේ මනසට නැගේ. ඔබට ද එය එසේ වන්නට පිළිවන. කෙසේ වෙතත් මේ කිසිදු පැනයකට සෘජු පිළිතුරක් නොසපයමි. තීරණය ඇත්තේ මෙම ලිපිය කියවාගෙන යන ඔබේ අතේ ය.
පරාජයෙන් හිත කඩා වැටුණු සිය දියණිය වෙනුවෙන් අල්විස් පෙරේරා කිවිඳු රචනා කළ කවි තරුවක් මසිතට නැගේ. එම කවි තරුවේ ගැබ්ව ඇත්තේ ලොව සුවහසක් දුවා දරුවන් පරාජිතබවින් මුදවා නගා සිටුවීමේ ගැඹුරු ශක්තියකි.
ඉරණම ලැබිය යුතු නියමය අනුව ලොවේ
දිය කැළඹුණ ද මග වැළකිය හැකි ද නැවේ
පැරදී නොලද හැකි දිනුමක් නොමැත ලොවේ
වැටුණත් නැගිට වැලි පිස යා යුතුය දුවේ
ප්‍රතික්ෂේප වන්නට හෝ පරාජය වන්නට බිය නොවිය යුතු ය. ජීවිතයේ සිදු වූ පරාජයන්, ප්‍රතික්ෂේපවීම් තමන්ගේ ජීවන ගමනේ ලොකු හැරවුම් ලක්ෂයන් කරගනිමින් ස්වකීය ජීවිතය ජයගත් කාන්තාවන් කිහිප දෙනකු පිළිබඳ සත්‍ය කථා කිහිපයක් මෙහි සටහන් කොට තබමි. බලන්න, ඔබටත් ප්‍රතික්ෂේපවීම් මැද මේ විදිහට ජීවිතය ජය ගන්න පුළුවන්ද කියලා. හිතන්න ඔබටත් විපත සැපතක් කර ගන්න අවශ්‍ය උපායඥානය තියෙනවද කියලා. දකින්න ඔබ වෙනුවෙන් ලෝකයේ ඇති එක දොරක් වැහෙනකොට තවත් දොරවල් රාශියක් ඇරෙනවා කියලා.
1944 අවුරුද්දේ එක දවසක් ප්‍රසිද්ධ මෝස්තර නිරූපණ ආයතනයක් වුණු Blue Book Modelling ආයතනයේ සම්මුඛ පරීක්ෂණයකට ආපු ජින් බැකර් මෙනවියට සිදුවුණේ හිස් අතින් ම ආපසු හැරිලා යන්න. ඇය එසේ ප්‍රතික්ෂේප වෙලා හැරිලා යනකොට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිටපු ලොක්කෙක් ජින් බැකර්ට පොඩි අවවාදයකුත් දුන්නා.
“ළමයා ඔයාට කවදාවත් නිරූපණ ශිල්පිනියක් නම් වෙන්න බැහැ. නරකද ලිපිකරුවෙක් වෙන්න උත්සාහ කළොත්? නැත්නම් හොඳ පිරිමි කෙනෙක් කසාද බැඳලා ගෙදරදොර වැඩ ටික කරගෙන ඉන්න බලන්න.”
හැබැයි පස්සේ කාලෙක මේ තරුණිය අතිදක්ෂ නිරූපණ ශිල්පිනියක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇය ගායිකාවක්, නිළියක් විදිහටත් ලෝක ප්‍රසිද්ධ වෙනවා. ඒ ජින් බැකර් කියන නමින් නෙවෙයි. ලෝකය ම ආදරයෙන් ඇයව හැඳින්වූයේ මැරලින් මොන්රෝ කියන නමින්.
ඔබ ටේලර් ස්විෆ්ට් ගැන අසා තිබෙනවාද? ඇය මේ වෙනකොට සම්මාන 311ක් දිනාගෙන තියෙන කාන්තාවක්. සම්මාන 728 කට නිර්දේශ වෙනවා. හැබැයි ඇය සිංදු ලිව්වෙ සතුටට නෙවෙයි, ඇත්තටම දුකට. ඒ සියල්ල අවසානයේ ඇය ඉතා ඉහළ තැනකට ඔසවා තබනවා. කාලෙකදි දුකට හේතුවුණු කරුණුම පස්සේ කාලෙකදි සතුටට හේතුවක් වෙනවා. ඒ නිසා ලෝකයට පේන්න හඬා වැළපෙන්න එපා. ඒ වෙනුවට හැම පරාජයකින්ම පාඩමක් ඉගෙන ගන්න. ජීවිතයට ශක්තියක් වූ අයට සමීප වෙන්න. පරාජයෙන් ඔබ වෙහෙසට පත්කරන අයගෙන් ඈත් වෙන්න.
The Reader චිත්‍රපටියේ කළ අති විශිෂ්ඨ රංගනය උදෙසා 2008 වසරේ හොඳම නිළියට හිමි ඇකඩමි සම්මානයෙන් පිදුම් ලබනවිට කේටි වින්සල්ට් සභාව අමතමින් මෙසේ පැවසුවා.
“මම මේ කතාවම මට අවුරුදු අටේදි අපේ ගෙදර නාන කාමරේ කණ්නාඩිය ඉස්සරහ ඉඳන් කළා. එදා මගේ අතේ තිබුණෙ ෂැම්පු බෝතලයක්. ඒත් අද මගේ අතේ තියෙන්නේ ඇකඩමි සම්මානයක්.”
“එතැන් සිට මේ දක්වා මා වෙනුවෙන් ඒ වැනි දුෂ්කර මාර්ගයක් විවෘතව තිබීම මා ලද භාග්‍යයක්. මා ගැන විශ්වාසය තැබූ අයට මම ස්තූතිවන්ත වෙනවා. මගේ මිතුරන් සහ පවුලේ අය, විශේෂයෙන්ම මගේ අම්මයි තාත්තයි මේ ශාලාවේ කොහේ හරි තැනක ඇති.”
“තාත්තේ, ඔබ මෙහි සිටිනවා දැයි දැනගන්න මට විසිල් එකක් ගහන්න.”
එකිනෙකා පැහැදිලිව නොපෙනෙන සේ අඳුරුව තිබූ ශාලාවේ ඈත කෙළවරකින් ලයාන්විත විසිල් හඬක් ඇසිණි.
සැබැවින්ම අපට අවශ්‍ය වන්නේ පරාජයේ දී පරාද නොවී ඉන් ඉගෙනීම යි, තව තවත් දිරිමත් වීමයි. එසේ ඉගෙන ගතයුතු පාඩම් ඇතැම්විට පොත පතේ ද සඳහන්ව නැත. අප විසින් සොයා ගත් ධාර්මික, අව්‍යාජ මාර්ගයක ගොස් පැරදුන ද කම් නැත. ඒ එය අපේම මාර්ගයක් නිසා ය. බාධක හමුවේ නොසැලී ඉදිරිය වෙත යන දිරිය කාන්තාවන්ට තිස්ස විමලධීරයන්ගේ මතු සඳහන් අදහස් සමුච්චය ද තරුවක් ව මග පෙන්වනු ඇත.
කඳුළු එනවිට නොහඬ ඉන්නට
දිරිය තිබුණා නම් හිතේ
පහර පිට සැඩ පහර ආවත්
වැටෙන්නෑ ඒ ජීවිතේ
අපට යා යුතු සොඳුරු පෙත්මග
ලියා නැත ඔය පොතපතේ
අපිම මඟතොට සොයාගෙන ගොස්
වැරදුණත් කම්පා නැතේ
පරාජය තුළින් ලබන ජයග්‍රහණය හරියට සුළඟින් නැමී යන ගස්, එම සුළඟින් ම චුම්බනය වී වඩා ප්‍රාණවත්ව යළි නැගී සිටින්නාක් වැනි ය.
තරිඳු ධනංජය වීරසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය