ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - ප්‍රේමයට හැඩයක් තියෙන්න පුළුවන්ද

ඔයාගේ හිතේ බර 'ලොකු අක්කාට' කියන්න - ප්‍රේමයට හැඩයක් තියෙන්න පුළුවන්ද?

මේ දවස්වල ඔයාලට වගේම මටත් යන යන හැමතැනම ඇහෙන්නේ නියම් හෝ අනියම් ප්‍රේමය ගැන කතාබහ… මෑතකාලෙදි මාධ්‍යවලින් පවා පෙන්නුව එක් අවාසනාවන්ත සිද්ධියක් නිසා ඒ ගැන දිගින් දිගටම කතා වෙනවා.

ප්‍රේමය කියන මනෝභාවය අපිට ඕනම තැනකදි ඕනම වයසකදි ඕනම විදියකට ඇතිවෙන්න පුළුවන්. ඒත් අපි සංස්කෘතියක්, සභ්‍යත්වයක් තියෙන සමාජයක් ඇතුළේ ජීවත්වෙන මිනිස්සු. අපි ප්‍රේම කරන්නේ භෞතික ශරීරයකට වෙන්න පුළුවන්. ඒත් ප්‍රේමය කියන්⁣නේ භෞතික දෙයක් නෙවෙයි; ආධ්‍යාත්මික දෙයක්. ඉතින් අපිට සිද්ධවෙනවා මේ ආධ්‍යාත්මික හැඟීම එක්ක තර්ක විතර්ක කරලා මේ සමාජයට ගැළපෙන අවස්ථාවකදි පමණක් ඒක එළියට දාන්න… මොකද අපි ශිෂ්ටසම්පන්න මිනිස්සු මිසක් තිරිසනුන් නොවන නිසා…

ජීවිත කාලෙම එකම කෙනෙක්ට ප්‍රේම කරනවද, ප්‍රේම කතා සීයක් විතර තිබුණද කියනවට වඩා; ප්‍රේමය අපි ළඟ තිබුණු කාලේ අපි ඒ හැඟීමට අවංක වුණාද කියලා හිතන්න පුළුවන් නම් බොහෝ ගැටලුවලට විසඳුම් අපි ළඟම තියනවා නේද කියලා ඔයාලට දැනේවි.

එයාට ඉන්නේ මම විතරක් නෙවෙයි, එයාට තව අය ඇති කියලා සැක කරනවට වඩා; මං එක්ක එයා ඉන්න හැම මොහොතකම එයා ඉන්නේ සතුටින්ද, මම ඉන්නේ සතුටින්ද, අපි දෙන්නා අපි දෙන්නා එක්ක කතාබහ කරද්දි, විහිලු තහලු කරද්දි, කද්දිබොද්දි, ගමනක් යද්දි, දෙයක් ගැන කතාකරද්දි සැනසීමක් හිතට දැනෙනවද වගේ දේවල් ගැඹුරින් හිතලා ඒවට යම්කිසි විසඳුමක් තමන්ම සොයා ගත්තා නම් තමන් වගේම තමන්ගේ ප්‍රේමයත් සුරක්ෂිතයි කියලා තමයි මට නම් හිතෙන්නේ…

ඇත්තටම ඔයාලා ප්‍රේමය කියලා දකින්නේ මොකක්ද? උදේට ගුඩ්මෝනින් මැසේජ් එකක් එන එක…එහෙමත් නැත්නම් කෑවද බිව්වද හොයන එක… රෑට ගුඩ්නයිට් මැසේජ් එකක් දාන එක විතරයි නම්; මේ රාමුව අතපසු වුණු දවසක ඔයාලට දැනෙන්න ගන්නවා “ප්‍රේමය මියැදිලා” කියලා.

ඒත් ප්‍රේමය ඇතුළේ තියෙන්නේ ඇත්තටම ඒ වගේ පටු දේවල් කියලා නොහිතා අනෙකා වෙනුවෙන් කරන කැපකිරීම්, තමන්ගේ සුබසිද්ධිය ⁣⁣ගැන හිතනවා වගේම අනෙකාගේ සුබසිද්ධිය ගැන හිතන එක, තේරුම්ගැනීම, ගරු කිරීම වගේ දේවල් කියලා හිතලා ඒවා ජීවිතේට ආදේශ කර ගත්තොත් කිසිම අවස්ථාවක ප්‍රේමය නියම් හෝ අනියම් කියලා බෙදා වෙන් කර නොගෙන, සමාජයට සහ තමන්ගේ පවුලට හානියක් නොවෙන විදියට ජීවත්වෙන්න පුළුවන් වේවි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *