“මේකට කියන්නෙ ආදරේ කියලනම් ඒක එහෙමම වුනාවේ!”
මාරියස් යනු හරි පුදුම චරිතයකි. සැබැවින්ම නිහඬ පුද්ගලයෙකු වූ ඔහුගේ ක්‍රියාකලාපය හරියට පුස්තකාලයේ මහත අකුරින් ලියා එල්ලා තිබූ “නිෂ්ශබ්ද වන්න!” යන වචන යුගලයට කරන ගරු බුහුමන් දැක්වීමක් වැනිය. ඊටත් එහා ඔහු නවකතා ලෝලියෙකි. උස මහතද කදිමට හිමි ඔහුගේ පෙනුම වඩාත් කැපීපෙන්නේ කෙනෙකු අලවා තබා ගැනීමට හැකි අනඟ බැල්මටය.
“මට සමහර වෙලාවල්වලට හිතෙනවා මගෙ හුස්ම ටිකත් මේ පොතක් උඩම අත ඇරේවිද කියලා. නිකමට හිතලා බලන්න “මොන්තක්‍රිස්තෝ සිටුවරයගේ කතාව“. පළිගැනීමක් වුනත් වෙළුමෙන් වෙළුම අමුණලා තියෙන කුතුහලය. මාත් දවසක ලියනන්න ඕනෙ නවකතාවක්.“
ඔහුට පොත්වලින් තොර ලෝකයක් නැති ගානය. විටෙක,”මේරි ඔයා කියවන්න “ගුස්ටාව් ෆ්ලෝබෙයාර්ඩ්ගෙ, එමා බෝවාරි” කියන පොත. කෙල්ලෙක් අනිවාර්යයෙන්ම කියවන්න ඕනෙ පොතක්. ඔයත් කියවලා බලන්නකො බොරුනම්.“
විටෙක ඔහුගේ පොත් කියවිල්ලත් ,නොරිස්සුම් සුළු වූ අවස්ථාද නැතුවා නොවේ.
“ඉන්න පොඩ්ඩක් තව පිටු දෙකයි තියෙන්නෙ මේ චැප්ටර් එක ඉවර වෙන්න.“
“ඔයාලා කන්න. මම මේ පොත කියවලා ඉවර වෙලාම කන්නම්.“
මාරියස් හා මා හාද වූයේ ඔහු පවසන අවස්ථාවේම නොවූවද ඇට මැස්සාගේ කතා බහේදී අප අදහස් අතින් වඩ වඩාත් ළං වූ බව පිළිගත හැකි සත්‍යයකි. ඔහුට දින පිළිබඳ එතරම් මතකයක් සහ වගවීමක්ද නැත. එබැවින් අපගේ මතකයන් දිව යන දිනයන් ගැන කිසිඳු මතකයක් ඔහුට තිබෙන්නට නුපුළුවන. ඔහුට වඩා ඔහුගේ දෙමාපියන්ගේ උපන්දිනයන් පවා මට හොඳ හැටි මතකය. දිනක් ඔහුගේ නැගණියගේ උපන්දිනය පිළිබඳ මතක් කර දුන්නේද මා ය. එසේ කළත් ඒ පිළිබඳ උනන්දුවක්නම් කිසි දිනෙක ඔහුට නැත.
“යනකොට මොනවාහරි අරන් ගිහින් දෙනවා. ඇරත් , අපේ නංගි කිසිම දේකින් සතුටු කරන්න පුලුවන් කෙල්ලෙක් නෙමේ. එයාගෙ මනෝ ලෝකෙ තියෙන දේවල් ඇස් මට්ටමට ළං කරන්න නම් මට සක්කරයෙක්වත් වෙන්න වෙයි.“
කාලයේ සහයෝගයෙන් හොඳම මිත්‍රත්වය ප්‍රේම වෘත්තාන්තයක් දක්වා දළුලමින් පවතින්නට වූයේ, අනුරාගී හැඟීම් මුල්කරගෙන නොව, අප දෙදෙන අතර හුවමාරු වූ නොයෙකුත් සාකච්ඡාවල ප්‍රතිඵලයක් නිසාවෙනි. සැබැවින්ම එය අමුතු ආකාරයේ ප්‍රේමයකි.
“එහෙම නෑ. මට නිකං ඔයා දැක්කම අමුත්තක් දැනුනා. මේ මගෙ අත එහෙම කියද්දිත් වෙව්ලනවා“
ඔහු තරමක ලජ්ජාශීලී පුද්ගලයෙකි. ප්‍රේමයට කැමති වුවද රෝමාන්තික ආදරයෙහි හැසිරීමේදී දෙවරකට වඩා සිතා බලන්නෙකි.
“මේරි මෙතන මිනිස්සුත් ඉන්නවා. කවුරුහරි දැක්කොත් එහෙම වැරදි දෙයක් හිතන්න පුලුවන්.“
“චුට්ටක් අත තුරුළු කරගත්තා කියලා කොහොමද වැරදි දෙයක් වෙන්නෙ. ඔය ඕන තරම් කපල්ස් ලයිබ්‍රරි එකේ එහෙම ඉන්නෙ. එතන වැරැද්දක් වෙන්නෙ බලන මනුස්සයගෙ මානසික මට්ටම අනුව තමයි. ඔයා ඒ මිනිස්සු හිතන්නත් කලින් හිතලා ඉවරයි.“
“එහෙම නෙමෙයි මම කියන්නෙ. මෙතන පුලුවන් ද නිදහසේ ආදරේ කරන්න. මේක ලයිබ්‍රරි එකක්නෙ. මෙතනට මිනිස්සු එන්නෙ පොත් කියවන්න.“
“මාරියස් ඒක ඇත්ත වෙන්න පුලුවන්. මෙතන හැමෝම එන්නෙ පොත් කියවන්නම නෙමේ. මානසික නිදහසත් එක හේතුවක්. පොතුත් කියවන්න, ඒ වගේම මටත් ආදරේ කරන්න.“
ආදරයේ නිදහස විඳගන්න කෙතරම් උත්සහ කළද එයට කිසිඳු ඉඩක් නොලැබුනේ කොතරම් නිදහස විඳීමට කැමැත්තක් වුවද එය විඳීමට සිතෙහි තිබූ දෙගිඩියාව නිසාවෙනි. ඒ පිළිබඳ ගොඩනැගූ සෑම ප්‍රයත්නයක්ම ව්‍යර්ථ වූයේ අප දෙදෙනාගෙන් කිසිවෙකුගෙත් වරදින් නොව, ඒ මොහොතේ ඇතිවූ හේතු මුල් කරගෙනය. අපි කිසි දිනක එසේ පිටතදී හමුවූයේද නැත.
“ඒක මගෙ වැරැද්දක් නෙමේ මේරි. ඉරිදා පල්ලියේ පොඩි වැඩක් වැටුනා. මට කියන්න හේතුවක් තිබුනෙ නෑ, හා කියනවා ඇරෙන්න.. එහෙන් තාත්තත් අහද්දි!“
කෙසේ වුවත් ඔහු මට සැබැවින්ම ප්‍රේම කළ බවනම් සත්‍යකි. කෙතරම් ලජ්ජාශීලී පුද්ගලයෙකු වුවද මා ඔහුගෙන් සුලු මොහොතක වුව නික්ම යෑමත් ඔහුට ඉඳි කටු තුඩකින් හදවතට අනින්නා සේ විය. කෙසේ වුවද මගේ මවගේ ගම වන කෑගල්ලට යාමට යෙදී තිබූ දිනයද කෙමෙන් කෙමෙන් ලං වෙන්නට විය.
“දැන්ම යන්න ඕනෙද? ඔයා කිව්වෙ තව මාසයක් දෙකක් පරක්කු වෙයි කියලනෙ. එහෙම වුනොත් ,ඔයාට ආයෙ ලයිබ්‍රරි එන්නත් බැරි වෙයිනෙ.?“
“තාත්තනම් කිව්වෙ මේ පාස්කු ඉරිදා එහෙ යනවයි කියලයි. තාත්තා වෙච්ච බාරෙකුත් තියෙනවා ඔප්පු කරන්න. ඒකට කොච්චිකඩේ යන්නත් එපැයි උදෙන්ම නැගිටගෙන. ආයේ පූජාවනම් වරද්දන්නෙම නෑ එයා. ඒ හින්දා උදෙන්ම යයි කොහොමත්. බය වෙන්න එපා! මම එහෙ ගියත් අපිට හම්බවෙන්න මොකක් හරි පොටක් පෑදෙයිනෙ. අනික මහ දුරක් නෑනෙ!“
“ඒ වුනාට මමනම් කැමති නෑ සතියකට හතරපාරක් හම්බෙච්ච චාන්ස් එක මාසෙකට එක පාරක් වගේ වෙනවට.“
*********************************************************************************************************************************************
“මේරි අපි මේ ලෝකෙට ඇවිත් ඉන්නෙ මොකක් හරි රාජකාරියකට. ඔය කියන ජීවිතය ඇතුලෙ හැම මනුස්සයෙක්ටම ඒ මනුස්සයට උරුම වෙච්ච අදිසි රාජකාරියක් තියෙනවා. ඒ රාජකාරිය අපි අතින් ඉටු වුනාම අපිට යන්න වෙනවා. ඒක තමා ලෝක ස්වභාවය. ඒකට රෝමියෝ වුනත් ඇලෙක්සැන්ඩර් වුනත් අදාල වෙන්නෙ නෑ!“
“ජීවිතේ හැමදෙයක්ම නිශ්චිත නෑ. අපි කවදා මැරෙයිද, කවුරු මැරෙයිද, අපිවත් දන්නෙ නෑ. ඒ හින්දා හැමෝටම ආදරය විතරක් දෙන්න. එච්චරයි අපිට කරන්න පුලුවන්. ලොකු ලොකු හීන මාලිගා මවාගන්නත් එපා. අද දවස ඇතුළෙ විතරක් ඉඳගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. “
“ඔව් ඒක හරි වෙන්න පුලුවන්! හැබැයි ආදරය කියන මාතෘකාව ඇතුලේදි ඔය කියන කිසිම වචනයක් ස්ථිර වෙන්නෙ නෑ. පිටි කැට වගේ කුඩු වෙලා යනවා. ඒ තමයි ආදරේ හැටි. මම මේ කියන දේ මේ මොහොතෙදි නිකම්ම නිකං පුස්සක් වගේ දෙයක් වෙන්න පුලුවන්. හැබැයි ඔයා දවසක තේරුම්ගනීවි.“
විටෙන් විට විසිල් හඬින් හමායන කටුක රස්නයක් මුසු සුළඟත්, කපුටන්ගේ කන් කැකෑරෙන හඬත්, මුසු පරිසරය ගතට එක්කලේ මලානික ස්වරූපයකි. “ශෙරෝන් මාරියස් බෙරෙන්ජර්! සමාදානයේ සැතපේවා!”
ඔහු ඔහුගේ ඉරණම ගැන දැන සිටි බව සත්‍යකි. අපේක්ෂාවෙහි ඇඳ මත තම අවසාන ඉණිමෙහි වුවද ඔහු සිටියේ තමා යන ගමන පිළිබඳ ආත්ම විශ්වාසයකිනි. ඔහු නිවැරදිය. ඔහුගේ ගමන මේ ලෝකයට අයත් ගමනක් නොවන්නට ඇත. නමුත්, මා ඔහුට හදවතින්ම ඇලුම් කරමි. කාලයක් පුරාවට මා පිදූ හැඟීමට, ඔහු පෙන්වූ බොරු ගුප්ත හික්මුණු ප්‍රේමයේ තිර එකින් එක බිඳ වැටෙද්දී ,ඔහුගේ ලයාන්විත හදවත මා හදට දැනෙන්නට විය. අහිමි බව දැනගෙනම ප්‍රේම කරන්නට, ඔහු මා හට කියා දී යන්න තිබුණේ ය. රික්තයක සිරවී හුස්ම ගෑනිමක්වත් නොදැනුනු මා හට ඉරීගිය පරණ බැනරයක වචන කිහිපයක දෑස සිරවිය.
“හමුවේ දිනක. ඒ ලස්සන ලොවෙහි අප!”
– නිර්ණාමිකයා