ඊයෙ මගෙන් කෙනෙක් ඇහුවා; “ලොකු අක්කා, ජීවත්වෙලා ඉන්න කාලෙ පුරාවටම මැරෙනකම්, වෙනස් නොවී සතුටින් ඉන්න නම් අනිවාර්යෙන්ම කරන්න හිතාගෙන ඉන්න දෙයක් කියන්න” කියලා…
මට එවෙලෙ එක එක උත්තර හිතට ආවා… ආදරේ කරන එක, අවංක වෙන එක, කැපකිරීම් කරන එක වගේ කොමන් උත්තර හිතට ඇවිත් මට ආයෙමත් හිතුණා ඇත්තම උත්තරේ මේක නෙවෙයිනේ කියලා…
කොහොමහරි එයාට උත්තරේ ඒ වෙලාවෙම මට දෙන්න බැරිවුණා. ඒත් දැන් ඒකට මං ගාව උත්තරයක් තියෙනවා…
“මුණගැහෙන හැම කෙනෙක්ම අවිශ්වාස කරන එක…”
ඒක මාර නෙගටිව් දෙයක් විදියට කෙනෙක්ට කියන්න පුළුවන්. ඒත් මේ ලිපිය අවසාන වෙනකම් කියවන්න…. මම කියලා දෙන්නම් ඒක ජීවත්වෙද්දි කොයිතරම් පොසිටිව් විදියට අපිට බලපානද කියන දේ.
ඒ වගේම තව ජීවත්වෙන්නේ දවසක්ද, දෙකක්ද, දශක දෙක තුනක්ද කියලා වෙනසක් නෑ; කොහොම වුණත් ඒක මාර පහසුයි. මේ අවිශ්වාසය කියන එක ඇතුළේ “බලාපොරොත්තු නොවීම, හිත නොරිද්දා ගැනීම” වගේ දේවල් තියේද ඇහුවොත්; උත්තරේ වෙන්නේ “ඔව්” කියන එක….
මේ අවිශ්වාසය කියන්නේ ලව් කරද්දි අනිත් කෙනා බොරු කරනවද නැද්ද හොයනවා වගේ බොළඳ කාරණයක් නම් නෙවෙයි…
සතුට කියන දේ අපි නැති කරගන්නෙම “බලාපොරොත්තු වීම” ඇතුළේ.
මම මෙහෙම කළා, එයා ඒත් මට මෙහෙමයි කළේ, අපි උදව් කළා; එයා අපි ගැන බැලුවේ නෑ…, මම මේතරම් දීලා තියෙනවා; එයා මට දුන්නේ මෙච්චරයි, මම මේ තරම් කැපවීම් කළා; ඒත් එයාගේ කැපකිරීම මෙච්චරයි…” මේ වගේ කතා කී දෙනෙක් එක්ක කී වතාවක් ඔයා කියලා තියෙනවා ඇත්ද?
යාලුවෝ, හිතවත් අය, ගෙදර සාමාජිකයන් ගැන පවා අපිට ඕනතරම් එහෙම හිතිලා ඇති…
“මැෂින් පාගලා පාගලා ගන්න දේකින් එයාටමයි කළේ…ඒත් එයා මට මෙහෙමයි කළේ…” කියලා ඔයාලා කී දෙනෙක් තමන්ගේ හිතෙන්ම තමන්ට කියාගෙන ඇත්ද?
අපි මේ සිතිවිලි නවත්තන්න ඕන. දැන් ඔයාගේ වයස කීයද කියලා මතක් කරන්න…අවුරුදු කීයක්ද, මාස කීයක්ද, දවස් කීයක් ජීවත්වෙලා ඇත්ද…ඒත් වෙනත් කෙනෙක්ව විශ්වාස කරලා කරපු කියපු දේ නිසා කොයිතරම් හිත රිද්දගෙන ඇත්ද, සතුට නැතිකරගෙන ඇත්ද? ෆැක්ට්‍රි එකේ වැඩ පාඩු කරගෙන ඇත්ද? බොස්ගෙන් බැනුම් අහලා ඇත්ද? මේකෙන් ඔයාගේ ශක්තිය වගේම සමස්ත ආයතනයේම ශක්තිය හීන වෙන එක තමයි වෙන්නේ…
ඒ නිසා මුණගැහෙන හැම කෙනෙක්වම මුලින් අවිශ්වාස කරන්න… ඒ වගේම අපිට එයාගෙන් ඕනෑම හිත්රිදවීමක්, මූල්‍යමය හානියක් විය හැකි බව මතක් කරගමු…..හැබැයි වෙනසක් නොකර ඉන්න තරම් සූක්ෂ්ම වෙමු. තමන් උදව්වක් කරනවනම් ඒ කෙනා ආයෙ තමන්ට ප්‍රතිඋපකාර කරයි කියලා බලාපොරොත්තු නොවී ඒ දේ කරමු. යමක් දුන්නොත් ඒක අමතක කරමු. ණයක් දෙනවනම් හොඳට හොයලා බලලා දෙමු. තමන් උපමා කරගෙන හැමදේම කරමු. තමන්ට මෙහෙම කළොත්, මෙහෙම වුණොත් කියන දේ හිතමු… ස්වාධීන වෙමු… හයිය වෙමු…කිසිම කෙනෙක්ගෙන් යැපෙන්නේ නැති ශක්තිමත් ගෑනියක් විදියට මේ පොළොවේ පයගහලා ජීවත්වෙන්න පුරුදු වෙමු…. එතකොට මේ මූණේ හිනාව කියන එක අපිට ආගන්තුක දෙයක් නොවේවි….