මාර්තු විසි දෙකයි ලෝකයේ ජල දිනය
දොළොස් මසකට වරකි සමරන්නේ දිනය
දැනෙන්නට සැමට ජලයෙහි ඇති අගය
දැන් පවසන්න සූදානම් අහගන්නකො සගය
සොබා ධර්මයෙන් දෙන ලද දායාදයකි
එය රැක ගැනුම අප සැමගේ යුතුකමකි
සමහරක් උදවියගේ ගොන් වැඩ අපලයකි
ගහ කොළ කපා වනසන එක පාපයකි
ගහ කොළ වැනසුවොත් යයි උල්පත් සිඳිලා
ගොඩකර වැව් අමුණ එහි හෝටල් හදලා
පින් කර තිබුන මුත් මිනිසත් බව ලබලා
තිරිසන් ගති පෙනෙයි මිල මුදලට ලොල් වීලා
තිබහට බිව්වේ පයිප්පේ ඇරලා වතුර
වහන්න අමතක උනි ද මන්දා මිතුර
දිගටම ගලාගෙන යයි පාරේ වතුර
දැක්කත් නොදැක්කා සේ යන එක හොඳ නෑ මිතුර
කැපුවොත් ගහ කොළ වැසි නොලැබෙයි නිසි කලට
වතුර සොය සොයා ඇවිදින්නට වෙයි දුරට
ඉති තැලු පොළොව මත හැපි හැපි අඬන්නට
දවසක් නුදුරේම ඒවිය අප සැමට
හොඳින් සිතට ගත්තොත් ජලයෙහි ඇති අගය
නැති දා දැනෙයි අප සැමටම එහි රඟය
තිරිසන් සතුන්ටත් එක සේ දැනෙන දෙය
තිබහට ‘වතුර’ මිස සමකළ හැකි ද අන් දෙය
ගොවියගේ කුඹුරු හේන් ද අද පාළු වෙලා
ලැබෙන්නට වර්ෂාව මෙතරම් කල් ගෙවිලා
කල්කිරියාව හින්දම මිනිහගේ හිතලා
වැස්ස වලාහක දෙවියොත් කෝප වෙලා
වැටෙනා වැසි පොදෙහි වටිනාකම දන්නා
පෙර කල විසූ සමහර රජවරු උන්නා
රැක ගන්නට ජලය මහ වැව් තනවා දුන්නා
බිඳකුඳු පවා මුහුදට නොයවන ලෙස උපදෙස් දුන්නා
අදහස් ගලාගෙන එයි පරදන්නට සයුර
රැකගමු ජලය සැමදා පණ මෙන් සොයුර
හුස්ම පොදත් අවසන් වෙයි නැති කොට වතුර
පතමු නොවන්නට මතුවට කාන්තාරයක ගොදුර
K.P. ඉරේෂා ඩිලානි
බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය