ගමෙන් ලියුමක් ඇවිල්ලා

ගමෙන් ලියුමක් ඇවිල්ලා

ආදරණිය දුව වෙත,
 
පොඩ්ඩියේ… මෙදාපාර  අවුරුද්දට කවදද ගෙදර එන්න ඉන්නේ. මම දන්නවා මේ පාර අවුරුද්ද සමරන්න බෑ කියලා. මේ වසංගතේ තාම ඉවරයක් වෙලා නෑනේ. දුවේ… ඔයාලගේ වැඩපොළේ ඔයාලා හොඳින් පරිස්සමින් ඉන්න බව දන්නවා. එත් මගතොට ඇවිදින කොට නම් පරිස්සමින් මගේ දුවේ.

ඔයාගේ රූපේ අපේ මානයට එනකම් අපි හරි අසාවෙන් බලාගෙන ඉන්නේ. අවුරුද්ද කියල කියන්නේ ඇඳුම් පැලඳුම් අරන් දීලා හිත සතුටු කරන එකම නෙවේ දුවේ. අපි හැමෝම එකට බත් කටක් කාලා හිනා වෙලා පවුලම එකට ඉන්න එක තමයි අවුරුද්ද.

ලණු ඇඳට වෙලා අබ්බගාත අප්පච්චි හිස් අහස දිහා බලාගෙන හුල්ලනවා. ඔයාව දකින්න පුදුම ආසාවකින් උන්දැ ඉන්නේ. ඒ නිසාමයි මම දුවට මේ ලියමන ලියන්න හිතුවේ. ටවුමේ තියෙන ටෙලිපොන් එකෙන් කෝල් එකක් අරන් අක්කට කතා කරන්න කියලා මල්ලි මට කිව්වත්, මම ඒ ගන්න ටික වෙලාවටත් මයේ දුවගේ සල්ලි කීයක් හරි නැති නාස්ති වෙයි කියල හිතලයි මේ කඩදහිය ලියන්න ගත්තේ. පුතා මහන්සි වෙලා හරි හම්බ කරගන්න දේවල් නිකම්ම නාස්ති කරගන්න හොඳ නැනේ.
 
ඉස්සර වගේම ගේ  ඉස්සරහ එරබදු ගහ මල්වලින් පිරිලා. ඔයයි මල්ලි ඒ ගහ යට තරගෙට මල් එකතු කරනවා මට තාම  මැවී මැවී පේනවා. දුවේ…  ගමේ මාමා කිව්වා දුව එන්න කලින් මේපාර ඔංචිල්ලාව බැඳලා ඉවර කරන්න ඕනේ කියලා.

අඳේට කරපු කුඹුරේ ගොයම් ටික වෙලාවට කපලා ගෙට ගත්ත හින්දම මුදලාලි වැඩිපුර හාල් ටිකක් දුන්නා. ඒ ටික මම හරි සතුටින් අරගතේ එගොඩ චුටි නැන්දට දෙන්න හිතාගෙන. චුටි නැන්දත් හරිම අමාරුවෙන් ජිවත් වෙන්නේ. මාමා නැති උන දවසේ ඉඳලා උන්දැට හරියට අග හිගකම්. නංගිලා දෙන්නට උගන්නන්නේ හරිම අමාරුවෙන්. ඔයා මල්ලිට අරන් දුන්න පොත්වලින් ටිකක් මම උන්දැටත් දුන්නා. මෙදාපාර අවුරුද්දට චුටි නැන්දට මම අපේ ගෙදර එන්න කිව්වා. අපි හැමෝම එකතු උනාම තමා පුතේ අවුරුද්දේ ලස්සන තියෙන්නේ.
 
ගමේ හැමෝම කියනවා “වයලට් උඹට නම් මෙදාපාර අවුරුද්ද සරු ඇතිනේ. කෙල්ලත් ගමේ එනවනේ” කියලා. එක ඇහුණාම අප්පච්චිගේ මූනේ හීන් හිනාවක් ඇදෙනවා දුවේ. උන්දැ හුග කාලෙකින් ඒ හිනා වෙනවා මම දැක්කමයි. මයේ පුතා කන්න කැමැති නිසාම කොණ්ඩ කැවුම් ටිකක් උයන්න හාල් ටිකක් හෙට අනිද්දට කොටා ගන්නයි මම ඉන්නේ.
 
පොඩ්ඩියේ… මම කියන්නමයි හිටියේ. අතට සල්ලි ටිකක් හම්බ උනාට ඕනවට වඩා වියදම් කරන්න යන්න එපා. අපට ඇඳුම් කැඩුම් ගන්න කියලා ඔය කඩවල් ගානේ යන්න එපා. මේ වසංගතෙත් තම ඉවරයක් නෑනේ පුතේ. අලුත් අවුරුද්දේ පොතට කියක් හරි දාගන්න සල්ලි ටික තිය ගන්න.

මම ගාව ඉතුරු කර ගත්තු සල්ලි ටිකක් තියෙනවා. ඒවගෙන් අප්පචිටයි මල්ලිටයි සරොම් කෑලි දෙකක් ගන්න බැරියැ. ඒ ඇති.
 
අප්පච්චි ඇඳට වෙලා හිටියට මොකෝ දරුවෝ ඔයා ගැනමයි කියවන්නේ. කෙල්ල දැන් තවත් සුදු වෙලා උස ගිහින්  ඇති. කෙල්ල බලලා එන්නවත් යන්න මගේ කකුල් දෙක හයිය නැතුව ගියානේ කියලා අතුර දිහා බලලා ලොකු හුස්මක් පිට කරනවා. දරුවෝ… ඔයා තමයි අපේ හයිය. මල්ලිට මට අප්පචිට ඉන්න එකම හව්හරන ශක්තිය ඔයයි දුවේ. මගේ හිතේ තියෙන ඔක්කොම කියන්න ඉන්න්තේ ඔයා විතරනේ. ඔයාගේ තියෙන යහපත් ගති ගුණ එක්ක මම දන්නවා දරුවෝ ඔයාට වරදින්නේ නෑ කියල. මිනිසුන් නොමිනිසුන් අදුරගෙන ජිවත් වෙන්න ඔයාට ශක්තිය තියෙනවා.

ඉක්මනට අපිව බලලා යන්න එනකම් අපි මග බලාගෙන ඉන්නවා මයේ දුවේ. පරිස්සමින් ඉක්මටනට එන්න මගේ දුවේ… ඔයාට රත්නතරේ පිහිටයි…
 
මේ ඔයාගේ
ආදර
අම්මා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *