සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ, සංස්කෘතියේ සහ යහපැවැත්මේ ප්‍රබල උදාහරණයක්. පැරණි ජන සමාජයෙන් නූතනත්වයට ආ මේ අලුත් අවුරුද්ද කාලානුරූපීව වෙනස් වෙලා ද ? ප්‍රවීණ ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතා සමඟ සාකච්ඡා කරන්නයි මේ සූදානම.
* දළුපොත මහත්තයා, බක්මහ මංගල්‍යයට පරිසරයත් අපූරුවට සකස් වෙනවා. භෞතික වශයෙනුත් වෙනස්කම් සිදු වෙනවා. ඒ අතරේ අපේ සිතුම් පැතුම් වෙනස් වෙන්න ඕන කොහොමද ?
අවුරුද්ද කියන සංකල්පය ගැන කතා කරන්න කලින් අතීතයේ අපේ රටේ තිබුණු විශේෂ උත්සවයක් ගැන මම කියන්නම්.අපේ පැරණි සිරිත් විරිත් සකස් වෙලා තිබුණේ චන්ද්‍රමාස ක්‍රමයට නේ. රාජධානි ක්‍රමය ආරම්භයේ දී රජු විසින් නියම කරන ලද කාමෝද්දීපන උත්සව සැමරුම් තිබිලා තියෙනවා. පසුකාලීනව හින්දු ආගමික ලක්ෂණ අපේ සංස්කෘතියට එකතු වෙනවා. හින්දු ආගමික සිරිත් විරිත් සකස් වෙන්නේ සූර්යයා මුල් කරගෙන. කොහොම වුණත්, රජු මුල් කරගෙන තමයි අවුරුදු සැමරීම් සිදු වෙලා තියෙන්නේ. කෝට්ටේ යුගය,මහනුවර යුගය දක්වාම මෙම සැමරීම් සිදු වෙලා තියෙන්නේ රජු මුල්කරගෙන. පසුව බ්‍රිතාන්‍ය සමයේදී රජු කේන්ද්‍රීයව සැමරුණු අවුරුදු සැමරුම් නතර වෙනවා. එයින් එහාට සංස්කෘතිකමය ස්වරූපය වෙනස් වෙනවා. කිරි ඉතිර වීම ආරම්භ වෙනවා ,ක්ෂීර පායාස සකස් කරගැනීම, ලුණු මිරිස්, අච්චාරු, දොදොල්, කැවූම් ආදී දේශීය, විදේශීය ආහාර අපේ කෑම මේසයට එකතු වෙනවා.
දැන් බලන්න! අපේ අවුරුදු කෑම මේසයේ තියෙන “කොණ්ඩ කැවුම” ඒය වෙනත් කිසිඳු රටක සකස් වෙන්නේ නෑ. එතකොට පෘතුගීසි , ලන්දේසී කෑම අතරට අපේ සිංහල කෑමත් එකතු වෙනවා. ඒ කියන්නේ කාලානුරූපීව වෙනස් වෙනවා.සංස්කෘතික හර පද්ධතීන් සකස් කරගෙන කාලානුරූපීව වෙනස් වීම තමයි අවුරුද්ද කියන්නේ.
ගිය අවුරුද්දේ මාර්තු මාසයේ මේ වසංගත තත්වය ආරම්භය වෙන්නේ අවුරුදු දොරකඩ. කෝණ මංගල්‍යයට මාස දෙකකට කලින් මේ වසංගත තත්වය ආරම්භ වුණානම්, අවුරුද්ද අත හරින්න තිබුණා. අපි ඉන්නේ සංස්කෘතික මනසකින් නිසා එහෙම කරන්න තරම් කාලයක් තිබුණේ නෑ.අපේ ජන ශ්‍රැතිය අනූව පැහැදලි කරනවා නම්, වසංගතය දැන් පැළ පදියම් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අවුරුද්දේ අපි කටයුතු කරන්න ඕන සංස්කෘතික පරෙස්සමත් එක්ක. සමූහ වශයෙන් කෙරෙන ජන ක්‍රීඩා පවත්වන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අලුත් අවුරුද්දට එකතු පහදු වෙන්න අවස්ථාවක් ලැබෙන්නෑ.
කොහෝම වුණත්, පසුගිය ඉතිහාසය දෙස බලද්දි වසංගත පැලපදියම් වුණු අවස්ථා වල සමාජයේ පරෙස්සමක් ඇතිවෙලා තියෙනවා.
දැන් බලන්න විශ්ව ගම්මාන සංකල්පය නිසා අපිට සියලූම තොරතුරු නිවසටම වෙලා යාවත්කාලීන කරගන්න පුලුවන්. ඒ නිසා ළෙංගතුකම තියාගෙන මේ අවුරුද්දේ අපි මුහුවෙමු.
* දළුපොත මහත්මයා “අලුත් අවුරුද්දේ ” දී කාන්තාවගේ භුමිකාව කොයි වගේ ද ?
අලුත් අවුරුද්දේ පදනම අම්මා.ගම්බද හෝ නගරබද , කොණ්ඩේ වවපු කපපු, කියලා වෙනසක් නෑ. අම්මා අම්මාමයි. සංස්කෘතික වශයෙන් යුතුකම් ඉටු කරන්නීය අම්මා.ඒ නිසා අවුරුදු සමයේ කාන්තාවගේ භුමිකාව සුවිශේෂි යි. අපේ ජීවන සංස්කෘතියේ ප්‍රධාන තැන හිමිවන්නේ කෘෂි කර්මාන්තයට. කෘෂි කර්මාන්තයේ ප්‍රධාන තැනක් හිමිවන්නේ “කුඹුරු වැඩ” වලට. ඒ කුඹුරින් ගන්න සහලින් බුදුන් , දෙවියන් පුදලා ඉන් අනතුරුව පළමු කොටස හිමිවන්නේ ගෙදර ඉන්න ගෘහණියට,බිරිඳට. පවුලේ අයගේ උදර පෝෂණය කරන නිසා ඒ ගෞරවය වෙනුවෙන් ඇයට මුල් කොටස හිමිවෙනවා.ස්වාමියා පවා සංස්කෘතික ගැහැණියට ගරුකරනවා. මාතෘ මූලිකව කටයුතු කරනවා.
අලුත් අවුරුද්දේ නිවස පුරා දුවන තෙල් පුසුඹත් එක්ක අපේ මතක පොසිල අවදි වෙනවා. ඒ අවදි වීමත් එක්ක, අපි හැමෝන්ගෙම ඇතුළේ ඉන්න සංස්කෘතික මිනිසා අවදි වෙනවා. ඒ ආත්මීය මිනිසා අවදිවන්නේ, කාන්තාවගේ අවුරුදු පෙර සූදානම නිසා.
අපි කාගෙන්වත් අහන්නේ නෑනේ අවුරුදු ඇන්ද ද කියලා ? අපි අහන්නේ අවුරුදු කෑවද කියලා. මෙතනදී කෑම කියන්නේ ආහාර විතරක්ම නෙවෙයි. නිවස කළ එළි කිරීමත් “අවුරුදු කෑමක්”(සැමරීමක් ) විදිහට සකස් වෙන්නේ. ඒ සඳහා සෘජු දායකත්වය ලබා දෙන්නේ අපි කියූ සංස්කෘතික ගැහැණිය. මේ නිසා අවුරුද්දේ වැඩි වගකීම රැසක් ඉටුවෙන්නේ “කාන්තාවගේ භූමිකාවෙන්”
අවුරුදු සමය තුළ පුරුෂයාගේ කාර්‍යය භාරය කොයි වගේද ?
පැටිපස් පරානෙකට හම්බ කරන්න ඕන.බිරිඳට කවලා, වැඩිහිටියන්ට කවලා පස්සේ තමන් කනවා. පුරුෂයාගේ වගකීම ඒ විදිහට රැඳිලා තියෙන්නේ. දැන් බලන්න ගෙවත්තේ පහන් පැළේ අවුරුදු කුමාරයට කෑම තියන්නේ කවුද ? ගෙදර ඉන්න ස්වාමිපුරුෂයා. ඒක කාන්තාව කරන්නේ නෑ. එහෙම කරන්න ගියොත් එකිනකාගේ භුමිකාව පැටලෙනවා. අවුරුද්දේ වැඩ අල්ලන වෙලාවේ ඉඳලා ගෙදර අප්පච්චිගේ වගකීම සියලු දෙනා සතුටට පත්කිරීම. නැකතට වැඩ කටයුතු කරන්න දරුවන්ව සූදානම් කරන්න ඕන, වැඩ අල්ලන වෙලාවට දරුවන්ට දරුවගේ නම ලියන්න දෙන්න ඕන. මේ දේවල් තමයි පිරිමි භුමිකාවට පැවරිලා තියෙන්නේ.
දැන් එහෙම කිව්වම ලෝක ඉතිහාසය බැලුවහම, නැපෝලියන්, හිට්ලර් වගේ අධිරාජ්‍යවාදීන් උත්සහ කලේ තමන්ගේ නම ඉදිරියට ගෙන යන්න. ඒක නිසා තමන්ගේ නම තමන්ම ලියාගන්න එක වැදගත්. මේක මනෝ මූලීක සංකල්පයක්.
කොහොම හරි නිවසේ කටයුතු වලදී ඒ හැම එකකම මුදුන් ලීය, න්‍යෂ්ටිය වෙන්නේ ගෙදර ස්වාමිපුරුෂයා. මේ හැම වෙලාවකම පෞරුෂමය ගුණාංග නිසි ආකාරව භාවිතා කරන්න ඕන.මෙතනට වෘත්තීමය තත්වය අදාළ නෑ. කාලයත් එක්ක ස්වාමිපුරුෂයා ගේ භූමිකාවත් යාවත්කාලීන වෙනවා.
අවුරුද්ද සහ වෘත්තීය අතර තියෙන සම්බන්ධතාව කොයි වගේද ?
අපට තිබුණේ කෘෂික සමාජයක්.ඒක හේන් සහ කුඹුරු වශයෙන් වෙන් වෙලා තියෙන්නේ. ඒ අනූව ප්‍රධාන වෘත්තියට අදාළව අනෙකුත් වෘත්තීන් සේවා සපයන වෘත්තීන් බවට පත්වෙලා තියෙන්නේ. ඒකනේ ඉස්සර රජවරුත් කුඹුරු හාලා තියෙන්නේ.
ඉන්දියාවේ තත්වයනම් ඊට වෙනස්.බමුණු සංකල්පය මගින් කෘෂි සමාජය පීඩාවට පත් කලා.
අපේ සිංහල සමාජය එහෙමෙ නෙවෙයි. ප්‍රධාන වෘත්තියට සේවා සපයන හැම කෙනාටම අලුත් අවුරුද්දේ ස්තූති කලා. “දැකුම් දෙනවා”කියලා කිව්වේ ඒ ක්‍රමයට. අලුත් වී , හාල් ආදී ද්‍රවය හුමවමාරු කිරීම හරහා අනෝන්‍යය වශයෙන් ගරු කිරීම අපේ සිරිත් විරිත් වල තිබ්බා. වඩු මඩුවේ, කම්මලේ , නැකැත් රාළගේ මේ හැමෝන්ගෙම කාර්‍යය භාරයට ස්තූති කිරීම එදා ඉඳලම අපේ සමාජයේ තිබුණා.
දැන් බලන්න දකුණු ප්‍රදේශයේ ව්‍යාපාරීක ප්‍රජාව භාවිතා කරන චාරිත්‍රයක් තියෙනවා “ගේ අලෙයි”කරනවා කියලා. ඒ ඒ වෘත්තියට අදාළ කර්තව්‍යයන් ගැන අපිට මේ හරහා පැහැදිලි කරගන්න පුලුවන්.
අපි දැකා තියෙනවා තරුණ ළමිස්සියෝ ලස්සනට ඇඳලා සෙල්ෆි ගහලා සමාජ මාධ්‍යයේ පළ කරනවා. සමහර වෙලාවට ඒ පින්තූරය පළ වෙන්නේ ඉංග්‍රිසි Caption එකක් එක්ක. ඒක බොහෝම හොඳ ප්‍රවණතාවයක්. ඒක දකින පිටරට පිරිස් අපේ සංස්කෘතිය මොකද්ද කියලා අඳුන ගන්නවා. ඒවයේ කිසිඳු වරදක් මම දකින්නෑ.
කාලයත් එක්ක දර ළිප භාවිතය අවම වෙලා.ගෑස් ලිපේ කිරි උතුරන්න වෙලා තියෙන්නේ. ඒකත් හොඳයි. හැබැයි ගෑස් ලිපේ කිරි උතුරද්දි යම් යම් තාක්ෂණික ගැටලු රාශියක් පැන නගිනවා. ඒ තාක්ෂණික ගැටලුවට විසඳුමක් හොයාගත්තා නම් කදිමයි.
දළුපොත මහත්තයා, අපේ ආයතනික සාමාජික සාමාජිකාවන් උදෑසන රාජකාරි කටයුතු ආරම්භ කරන්නේ “මහ මැෂිමට වැඳලා”. ඒ හරහා කෘතවේදීත්වය පළ කරනවා. එතකොට මේ අජීවී වස්තු වලට කෘතවේදී වීම අපේ ජනශ්‍රැතියේ කොහොමද මතුවෙලා පෙනෙන්නේ ?
ඒක හොඳ ප්‍රවණතාවයක්. මම අදටත් කුඹුරු වැඩ ආරම්භ කරන්නේ විය ගහට වැඳලා. ගොං බානට වැඳලා. ඊට අමතරව නගුලටත් වඳිනවා, දෑකැති වලටත් වඳිනවා. මේ කටයුත්ත ක්රන කෙනා කොච්චර පොරක් වුණත්, මේ විදිහට වඳින්නම ඕන. ඒ හරහා යම් මානසික ශක්තියක් ලැබෙනවා. ඒ වැඳීමත් එක්ක විශ්වාසයක් ගොඩනැගෙනවා.
කලින් ඔබ කිව්වා වගේ, පණ නැති මැෂිමට සංකෘතිය විසින් පණ දීලා. මැෂිම නිසා ජීවීතය සරු වෙනවා, ආර්ථිකය ගොඩනැගෙනවා,රට ගොඩනැගෙනවා.
මේ විදිහය ගෞරවය පළ කිරිම අපි ජන ශ්‍රැතියේ හඳුන් වන්නේ “තෙපුල් දීම” කියලා. ඒ මගින් හිතට ලොකු ධෛර්යයක් ලැබෙනවා. මෙන්න මේ සිරිත් මගින් තමයි සංස්කෘතික අනාගතය කරා ගමන් කරන්නේ. දැන් බලන්න ජපානය සංස්කෘතිය රැක ගන්න සෑහෙන්න වියදම් කරනවා. අපේ සංස්කෘතිය රැක ගන්න නම් වියදම් කරන්න ඕන කමක් තිබුණේ නෑ. ඒත් යටත්විජිතකරණය නිසා අපිටත් නොදැනීම අපේ සංස්කෘතිය විශාල බලපෑමකට ලක් වුණා.
ජනශ්‍රැතියේ එන සිංහල අවුරුද්ද කෙතරම් අපූරූද ? කාලානුරූපීව අපිට කොයිදේටත් නිසියාකාරව සකස් වෙන්න ඕන. ඒ සකස්වීමත් එක්ක අපේ ආකල්පත් වෙනස් කරගන්න ඕන. ඒ හරහා ඔබටත්, මටත්, අපි හැමෝටමත් ප්‍රබෝධයෙන් මේ සිංහල අලුත් අවුරුද්ද සමරන්න හැකියාවක් ලැබේවි.