ඔයා මොනවගේ කෙල්ලක්ද? කවුරුහරි එහෙම ඇහුවොත් කියන්න උත්තරයක් ඔයා ගාව අනිවාර්යෙන්ම ඇති… ඒත් එ් උත්තරේට ඔයා මොනතරම් සාධාරණයක් ඉෂ්ට කරනවද කියන කාරණාව ගැන දන්නේ ඔයාමයි…
කෙල්ලක් ඉන්න ඕන මලක් වගේ කියලා මේ සමාජයේ මතකයක් හදලා තියෙනවා. ඒත් ඒ සමාජයම අපෙන් බලාපොරොත්තු වෙන්නේ මලක් නෙවෙයි; ගලක්…
අපි ඕනම වෙලාවක වැටෙන්න පුළුවන්. අත දෙයි කියලා හිතන හැම මිනිහෙක්ම හැම ගෑනියක්ම ආයෙත් පයින් ගහලා, අපිව දුර්වල කරලා, මුළු ආත්මයම කුඩුපට්ටම් කරලා දාද්දිත් අපිට පුළුවන් වෙන්න ඕන නැඟිටින්න. ජීවිතේ එකම එක පාරක් හරි ඒ වගේ උදව් ඉල්ලද්දි නොලැබුණු කෙනෙක්ට නම් මේකට හිත හදාගන්න ලේසියි. මොකද එහෙම වැටිලා ඉද්දි අපි නැඟිටින්නේ හිටියටත් වඩා දාස් ගුණයක් ශක්තිමත් වෙලා. ඒ හයිය තව කාලාන්තරයකට කාටවත් අපිව බිඳදාන්න බැරිතරම් බලවේගයක් වෙනවා.
අතේ සතපහක් නැතිව හරි අපිට පුළුවන් වෙන්න ඕන කාටවත් අතනොපා ජීවත්වෙන්න. අසරණ වෙලා ඉන්න බව ලෝකයට නොපෙන්වා හරි හරියට ලෝකයත් එක්ක එකට හිනාවෙන්න. තමන්ගේ අසරණකම ගැන ප්‍රශ්න කරන අයව අසරණ වෙන විදියට කතාකරන්න. අනවශ්‍ය උදව් කරන්න ඉදිරිපත් වෙන අයව අඳුනගෙන තනිවම ගමනක් යන්න.
කොටින්ම අපේ ළඟම ඉන්න අය අපේ ජීවිතවලට නිසි මාවතක් හදලා දෙයි කියලා හිතුවට ඒක වෙන්නේ හරිම අඩුවෙන්… සමහරුන්ට මුළු ජීවිත කාලෙම එහෙම කෙනෙක් මුණනොගැහෙන්න පුළුවන්. ඉතින් එහෙමයි කියලා ඉන්න තැනම නතරවෙලා ඉන්න අපිට පුළුවන්ද? බැහැ. අපිට පුළුවන් වෙන්න ඕන තනියම අපේ පාර හොයාගන්න. ඉන්පස්සේ ඒ පාර හදාගන්න… ඒ පාරේ ගමන් කරන්න. වැටෙන බව, රිදෙන බව, කුඩුවෙන බව දැනගෙන බොහොම පරිස්සමින් ගමන් කරන්න…
ඒත් ගෑනියක් විදියට අපිට ගලක්ම වෙලා ඉන්න පුළුවන්ද? එතකොට කෝ අපේ හිතේ තිබුණු මෘදු බව, ලතෙත් බව…. ඒක නැතිවුණාම කෝ එ් සියුමැලිබව එක්ක අපිට එන සැහැල්ලුව… ප්‍රශ්නයක් නේද? ඒකට තියනවා විසඳුමක්…
අපි ලේසියෙන් බිඳෙන්නේ නැති මෘදු ගලක් වෙමු… ගල්පරේකින් කැඩිලා බිඳිලා වතුරත් එක්ක ගහගෙන ගිහින් පිටට හරි ලස්සනට ඔපමට්ටම් වෙලා පේන, අතගාද්දි සිනිඳුවට දැනෙන, ඒත් හරි හයිය ගලක් වෙමු. එතකොට කාටවත් බැරිවේවි අපිව වට්ටලා පාගලා තලලා දාන්න… හැබැයි ඕන තැන්වලදි අපි මෘදුව ඉන්න පුරුදු වේවි….