ගෙවල්වල අම්මලා, පුංචිලා, නැන්දලා, අක්කලා, නංගිලා එකතුවෙලා කතාවෙනවා ඇහුණා. මොකක්ද මේ කියන්නේ?
මෙදා සැරේ අවුරුද්දේ නොනගතය තිබුණේ රෑට. ඒ දවසේ වෙනසක් තිබුණේ නෑ. ඒ කියන්නේ වෙනදා වගේම කෑම කාලා නිදියගෙන උදේ පාන්දර ආයෙ ඇහැරිලා කිරිබත් උයන්න ලකලෑස්ති වෙන්න වෙනවා කියන එක එදාටත් පොදු වෙලා තිබුණා. මෙදා අවුරුද්ද කාන්තාවකගේ දින චර්යාවේ සාමාන්‍ය දවසකට සමානයි. ඒ නිසා තමයි ඒ ගැන කතාවුණේ.
නොනගතයට අපි සියලුම වැඩ නවත්වනවා. කන බොන එක පවා. පන්සලකට යන එක, ටීවි බලන එක, ගමේ අය එක්ක එකතුවෙලා ජන ක්‍රීඩා කරන එක වගේ ක්‍රීඩාවක් ඇරුණම අපි ඉන්නේ නිදහසේ. ඒ නිදහස වචනයේ පරිසමාප්ත අරුතෙන්ම නිදහසක්. නමුත් ඒ නිදහස මෙදා නින්දට යන වෙලාවෙම යෙදීම ගැන නෝක්කාඩුවක් ගෑනු අපේ හිත්වලට එන එක සාධාරණයි. හැබැයි ඒක තරහකින් කියැවුණු එකක් නම් නෙවෙයි.ඤ “මම හැමදාම වැඩ කළා. හෙටත් වැඩකරනවා. අවුරුද්දට කියලා වෙනසක් නෑ. මුන්ව හාමතේ තියන්න පුළුවන්ද?” කියලා
මොකද කාන්තාවන් විදියට අපි කරන වැඩ ගැන අපි හැමදාම හිටියේ තෘප්තිමත්ව. ඒකයි අසීමිත වැඩ රාජකාරි තියෙද්දිත් අපි හිනාවෙන්නේ. අවුරුදු දවස් වෙද්දි අත් බැඳගෙන නිවාඩුවක් ගන්නවා කියලා නොහිතා කැවිලි පෙවිලි හදන්නේ. ජීවිතේ කවදාවත් නැති විදියට එක දවසක් වෙනුවෙන් මුළු පවුලක්ම ලකලෑස්ති කරන්නේ. ජීවිත කාලෙම අපි කරන්නේ මේක. අපි කොයිතරම් වැඩ කරනවද කියන එක අපේ ශ්‍රමය ගණනය කරන මැෂිමක් හොයාගන්නකම් අපි කවදාවත් දැනගන්න එකක් නෑ.
මිනිස්සුයි සොබාදහමයි එකම විදියට ලකලෑස්ති වෙන මාසයක් මුළු අවුරුද්දටම එන්නේ අප්‍රේල්වලදි. ඒක කොයිතරම් නම් හිතට දැනෙන දෙයක්ද කියන්න වචන කරන්න බැරිතරම්. මනුස්සයෙක් හැම අවුරුද්දකම අලුත් වෙන්නේ ජනවාරිවල නෙවෙයි; අප්‍රේල්වල කියලම තමයි මට හිතෙන්නේ.
අලුත් ඇඳුම්වල සුවඳ, ගෙවල් සෝදලා එන නැවුම් සුවඳ එක්ක, කැවිලි පෙවිලි හදද්දි දැනෙන මිහිරියාව ඒ අලුත් බව දෙගුණ තෙගුණ කරනවා. කහපාටින් පිරුණු ඇහැළ ගස්, රතුපාටින් දිදුලන එරබදු ගස් ඇස්වලට ගේන්නේ පුදුම සනීපයක්…
අවුරුදු අවසන් වෙද්දිත් ඔයාගේ හිතේ ඒ සතුට, සැනසීම තියෙනවනම් ඇත්තටම ඔයා වාසනාවන්තයෙක්… දැන් හැම වැඩක්ම නවත්තලා ඔයා වානසාවන්තයෙක්ද කියලා බලලා ඉඳිමුද….