වැඩකරලා වෙහෙසයි වගේ දැනෙනවද? හවසට වැඩ ඇරිලා ගෙදර ආවම මේ මොන ජීවිතයක්ද හිතෙනවද?
“හැමදාම එහෙම නෑ, ඒත් සමහර දවසට එහෙමයි”
“අපෝ මටනම් හැමදාම එහෙමයි”
“මට එහෙම අමුතු වෙහෙසක් දැනෙන්නේ නෑ. මම ආසයි වැඩකරන්න…”
ඔයා මේ කැටගරි තුනෙන් කොයිකටද අයිති වෙන්නේ කියලා ටිකක් නිවී සැනසිල්ලේ කල්පනා කරලා බලන්න…
අපි ඉන්නේ දෙවැනි කැටගරි එකේනම් අපි ජීවත්වෙන්නේ ජීවිතේ ගැන, අපේ එදිනෙදා වැඩ ගැන වෛරයකින්. ඒ වගේ පසුගාමී චින්තනයක් තියාගෙන අපිට කවදාවත් බැහැ දියුණු වෙන්න. අලුත් දෙයක් හිතන්න, පටන්ගන්න… අඩුමතරමේ සැහැල්ලුවෙන් හිනාවෙන්නවත් බැහැ.
ඇයි අපි මේ තරම් තමන්ගේ වැඩ ගැන වෛරයක්. තමන් ගෙවන ජීවිතේ ගැන පසුතැවිල්ලක්? ඒ ගැන කවදකහරි හිතලා තියනවද?
මම මෙහෙම කිව්වොත්, අපි දැනගෙන නම් ඉන්නේ අපි ජීවත්වෙන්නේ තව කොයිතරම් කාලක්ද කියලා? ඒ කියන්නේ අපි මැරෙන දවස දන්නවනම් අපි අපේ දින චර්යාව කොයිතරම් වෙනසකට පත්කරාවිද? අනේ මට තව දවස් කීයද කියලා හිතන අතරෙම අපෙන් මඟෑරෙන වැඩ කොයිතරම් නම් අපි කරාවිද? එහෙනම් අපි කාලය කාදමන එක නවතවාවි. හෙටට කල් දාන එක අඩුකරාවි. අපෙන් වෙන්න තියන යුතුකම්, වගකීම් ටික අකුරටම ඉටු කරාවි. වැඩකරන තැනට ගිහින් තමන්ගේ උපරිමය දීලා එන්න උත්සාහ කරාවි…
අපි මැරෙන මිනිස්සු… ඇත්තටම කියනවනම් මැරෙන දවස නොදැන, මරණය අතේ තියාගෙන ජීවත්වෙන මිනිස්සු අපි… ඉතින් ගොඩගහගන්න එකයි, අනිත් අයගේ ජීවිත ගැන හොය හොය තමන්ගේ කාලය කා දමන එකයි ටිකක් අපි පැත්තකට දාලා අපි අපි ගැනම හිතමු.
අපි වැඩිපුරම රැඳෙන්නේ ෆැක්ට්‍රි එකේ, එහෙමත් අපි වැඩකරන ආයතනයේ… ඒ තැන අපි අකමැතිම තැන වුණොත් ඒකෙන් අපිටවත් ආයතනයටවත් යහපතක් වෙන්නේ නෑ. ඒකෙන් පුද්ගලයෙක් වශයෙන් අපි පුදුමාකාර විදියට දුර්වල වෙනවා. වැඩකරන්නේ ඇයි හිතෙනවා. කම්මැලි හිතෙනවා. එහෙම සේවකයෙක් තියාගන්න එක අපි සේවය කරන ආයතනයටත් මහා බරක්. ඒවගේ සේවකයෝ විශාල ගාණක් ඉන්න එක ආයතනයට කියාගන්න බැරි පාඩුවක් වෙනවා. ආයතනය කඩාගෙන වැටෙනවා කියලා කියන්නේ ඍජුවම ඒක වැඩකරන අපිටත් බලපානවා.
කම්මැලිකම කියන සාධකය අපෙන් අයින්වෙනකම් මනුස්සයෙක් විදියට අපිට ඔළුව උස්සන්න වෙන්නේ නෑ වගේම අපි වැඩකරන ආයතනයක් දියුණු වෙන්නෙත් නෑ. මම කියන්නේ නෑ අපි මැෂින් වගේ වෙන්න ඕනෑ කියලා. ඒත් අපි කරන වැඩ ගැන අපිට සතුටක් තියෙන්න ඕනෑ. ආයතනය ඔවුන්ගෙන් අපිට විය යුතු සියලුම පහසුකම් සලසනවනම් අපෙත් යුතුකම වෙන්නේ පෙරළා ඔවුන්ට අපේ උපරිමය දෙන එක. මම හිතන්නේ ඒ වගේ හිතට එකඟව වැඩ කරද්දි අපි කරන කිසිම වැඩක් “ඇයි අපි මෙහෙම කරන්නේ, අයියෝ එපාවෙනවා, මහන්සියි, මට බෑ තවත්” කියලා පසුගාමී අදහස් දැනෙන එකක් නෑ.
මොනතරම් මහන්සි හිතුණත්, තමන්ගේ රාජකාරියට අදාළ වැඩටික ඉවර වෙලා නැත්නම් “මම ආසයි වැඩකරන්න, මේක මම කොහොමහරි ඉවරකරනවා” කියලා තනියම හිතාගන්න.
විශ්වාසයෙන් කියන්නේ “ඔයාට කම්මැලිකම කියන එක අමතකම වෙලා යාවි”….