දින සති ගෙවිලා යද්දි අපිට දැනුණේ නැති වුණාට මාස ගණන්, අවුරුදු ගණන් ගෙවෙද්දි ඒක අපිට බලපානවා. ඒ ගෙවෙන කාලය කොයිතරම් සූක්ෂ්මව භාවිතයට ගත්තද කියන කාරණාව එක්ක අපි කොයිතරම් සාර්ථක මනුස්සයෙක්ද කියලා මැනගන්න හැකියාව ලැබෙනවා.
මැෂින් වගේ මැෂින් එක්ක වැඩකරද්දි අපි ඒ කරන වැඩේට අවංක වෙනවා. අපි මැෂින් වගේ වැඩකරන්නේ ටාර්ගට් එකකට. ඒ ටාර්ගට් එක ඇචීව් කරන්න පුළුවන් වුණාම අපිට සතුටක් දැනෙනවා. ඊට එහාට අපි කරන හැම වැඩකටම අමතර වේතනයක් ලැබෙන එක හිතද්දි අපි සතුටින් තව තවත් වැඩ කරනවා. මේක පුද්ගලිකව ඔයාට, මට වගේම, අපිව ජීවත්කරවන කම්පැනියටත් අනියමින් විශාල වාසියක් වෙනවා…
ඒ ටාර්ගට්ස් දවසින්, සතියෙන් හෝ මාසෙන් ඉවරවෙනවා. ඔයා කවදාවත් ඔයාගේ ජීවිතේට ටාර්ගට් එකක් දීලා තියෙනවද? හිතෙන්නේ නැද්ද අද රෑ නින්දට යන්න කලින් දීර්ඝකාලීන ටාර්ගට් එකක ආරම්භයක් අරගෙන නිදියන්න ඇත්නම් හොඳයි කියලා? එහෙම නැත්නම් අපි එදිනෙදා ටාර්ගට්ස්වලින් දවසක හෙම්බත් වේව්. ඒක අපිට වගේම අපේ ආයතනයටත් බලපාවි. ඉතින් ආපහු කරකැවිලා ඇවිත් ඒකෙන් පාඩුවක් වෙන්නේ අපිටමයි.
තමන් කරන වැඩේට අවංක වීම තරම් මනුස්සයෙක්ට දියුණු වෙන්න වෙන මාවතක් නෑ. මුලදි ඔයාගේ ටාර්ගට් එක හිතට එකඟව හිතන්න. කරන්න පුළුවන් දෙයක්, වෙන්න පුළුවන් කෙනෙක් එහෙමත් නැත්නම් යන්න හිතාගෙන ඉන්න තැනක් ගැන හරි අරමුණක් හදාගන්න. ඒ අරමුණ දීර්ඝකාලීන වෙන්න පුළුවන්. ඒකට වැයකරන කාලය ගැන තැවි තැවි ඉන්න අවශ්‍ය නෑ. තේරුමකුත් නෑ. මොකුත්ම නොකර කාලය කාදමනවට වඩා අරමුණකට වැඩ කරන්න පටන් ගත්තම අපිට දැනෙනවා අපි ජීවත්වෙනවා කියලා.
එහෙම කරලා ඒකට ටිකෙන් ටික ළංවෙද්දි හැමදාම උදේට ඇහැරෙන්නේ අලුත් ප්‍රබෝධයකින්. අපිට තේරෙනවා අපි ජීවත් වෙනවා කියලා. වෙනදට වැඩිය සැහැල්ලුවක් දැනෙනවා. අනිත් අය එක්ක හිනාවෙලා කතාබහ කරලා ඉන්න හිතෙනවා. ඒ අතරෙත් තමන්ගේ දීර්ඝකාලීන ටාර්ගට් එකට යන හැටි හිතනවා. ඒක ගැන හීන මවනවා. අපි අපිට වගේම වටේ පිටේ අයටත් ආදරේ කරන්න ගන්නවා…
මේක කරලා බලමුද? මට හිතෙන්නේ ලොකු අක්කා විදියට මට පුළුවන් මම සාර්ථක වුණු පාර ඔයාට පෙන්නන්න… හොඳයි කියලා හිතෙනවනම් ඒ පාරේ එන්න…මාවත් පහුකරන් ඔයාට දුර යන්න පුළුවන් වේවි….