ගැහැණියකට පුළුවන් ලෝකයක් නළවන්න. ගැහැණියකට පුළුවන් ලෝකයක් සනසන්න.
ගැහැණියකට තියෙනවද ඒ තරම් ශක්තියක්?
ඔබට එහෙම හිතෙයි.
තමන්ගේ දරුවව දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා, ජීවීතේ විඳින්න සිද්ධ වෙන ලොකුම කායික වේදනාව විඳලා දරුවන් මේ ලෝකෙට බිහි කරන ආදරණීය අම්මා… ඇයත් ගැහැණුකම පිරුණු කාන්තාවක්…
තමන්ගේ සැමියා වෙනුවෙන් පවුල වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන, ආදරය සෙනෙහස බෙදා දෙන සුන්දර බිරිඳ… ඇයත් ගැහැණුකම පිරුණු කාන්තාවක්…
කිරි සිනහවෙන් මුළු ගෙදරම පුරවලා සුන්දර ගුණවත් යුවතියක් ලෙස හැඳී වැඩෙන සෙනෙහෙබර දියණිය… ඇයත් ගැහැණුකම පිරුණු කාන්තාවක්…
ඉතින් තවත් උදාහරණ මොකටද ගැහැණියගේ ශක්තිය ගැන කියන්න.
ගැහැණිය ස්වාභාවයෙන්ම සංවේදී, අහිංසක, සුකුමාල කෙනෙක් විදියට තමයි අපි අඳුනගෙන තියෙන්නෙ. හැබැයි මේ දේවල් අපි නොදැනුවත්වම අපේ දුර්වලකමක් බවට පත් වෙනවා කියන එක අපිට සමහර වෙලාවට අමතක වෙනවා. ගැහැණිය ආදරයේ ප්‍රතිමූර්තිය වුණාට, අහිංසකත්වයේ දේවතාවිය වුණාට බුද්ධිය ඒ හැමදේටම වඩා ඉහළින් තියාගන්න ඕනෙමයි.
කවියෝ ගීත රචකයෝ ගැහැණියගේ සුන්දරත්වය හරි අපූරුවට වර්ණනා කළාට සමහර වෙලාවට ගැහැණියට ඒ ගැන අමතක වෙනවා. හැම ගැහැණියටම තියෙනවා ආවේණික සුන්දරත්වයක්. එකම ඇඳුම දවසක් දෙකක් ඇඳගෙන ඉන්නවට වඩා, අනේ මට කොණ්ඩේ පීරගන්නවත් වෙලාවක් නෑ කියලා කියනවට වඩා ලස්සනට, පිරිසිදුවට, පිළිවෙලට ඉන්න ගැහැණියකට පුලුවන් නම්, පවුලේ සතුට ආදරය ඔයාටත් නොදැනීම වැඩි වෙයි.
කාන්තාවක් විදියට තමන්ගේ අම්මට තාත්තට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් වෙන විදියේ දියණියක් වෙන්න.
කාන්තාවක් විදියට තමන්ගේ සැමියට ආදරණීය, සෙනෙහෙබර බිරිඳක් වෙන්න.
කාන්තාවක් විදියට තමන්ගේ දරුවන්ට ‘මගේ අම්මා තමයි මේ ලෝකෙ හොඳම අම්මා’ කියලා කියන්න හිතෙන විදියට පරමාදර්ශී චරිතයක් වෙන්න.
ගැහැණුකම ආභරණයක්. බුද්ධියට මුල් තැන දෙන්න ශක්තිය අපිට තියෙනව නම්.
කාන්තා ඔබ, ඔබ තුළ සිටින ශක්තිමත්, බුද්ධිමත් ගැහැණිය ආරක්ෂා කරගන්න.
පිරිමි ඔබ, ඔබ ළඟ සිටින සුන්දර, සෙනෙහෙබර ගැහැණිය රැක ගන්න.
නදීරා ප්‍රශංසනී
මනෝ උපදේශිකා