අද එෆ්බී ග්රූප් එකක කතාවක් දාලා තිබුණා…ඒකේ තිබුණේ තෑග්ගක් විදියට තරුණයෙක්ට කාර් එකක් ලැබෙන එකක් ගැන…ඔහු කරපු සත්ක්‍රියාවක් නිසා වයසක කෙනෙක් තමන්ගේ කාර් එක මේ තරුණයෙක්ට දීලා රට යනවා… දිග කතාවක්. මේක සංක්ෂිප්තයකට වඩා අඩුවෙන් කීවේ මම…
කියන්න අවශ්‍ය වුණේ ඒක ගැන නෙවෙයි…
එතන එක කමෙන්ට් එකක් දාලා තිබුණා…
“මම වගේනම් ඒ තෑග්ග භාරගන්නේ නෑ. තමන්ට අවශ්‍ය දේවල් තමන් උපයගන්න ඕනෑ” කියලා…
මේක ඉස්සරහට කියවගෙන යන්න කලින් ඒ දේ ඔයාට වුණා නම් කරන්නේ මොකක්ද කියලා ටිකක් හිතන්න…
හොරකමක් වෙලා තිබුණා නම් මේ කතාව හරි. තමන්ට අවශ්‍ය දේ තමන් උපයගන්න ඕනෑ; අනුන්ගේ දේවල් ගන්නේ නැතිව කියලා කියන එක සාධාරණයි.
අපේ ආච්ච් අම්මා නම් ඒකට කියන්නේ “අනුන්ගේ අසූමහා දෝස ගැන හිතන්නවත් එපා” කියලා….
ඒත් තෑග්ගක් දීම සහ ලබාගැනීම ඒ තරම් වරදක් වෙනවද? මොකද මේක තෑග්ගක්. ඒක භාරගන්න එක වරදක් නෙවෙයි මට හිතෙන විදියට…
මම මේ කියන්න යන්නේ “දීම” ගැන….
තමන්ගේ “සබ්බසකලමනාවම” බෙදලා දෙන්න කියන එක ගැන නෙවෙයි මේ කතාකරන්නේ… ඒත් පුළුවන් විදියට අනිත් අය එක්ක බෙදාහදා ගන්න එක, එකිනෙකාට උදව් කරන එක ගැන…
මම දන්න සමහරු ඉන්නවා ගෙදරක අසරණවෙලා ඉන්න වයසක මනුස්සයෙක්ට කෑමවේලක් දෙන එක, අඳින්න නැති කෙනෙක්ට ඇඳුමක් අරන් දෙන එක, පොතක් පතක් කියවන්න ආස දරුවෙක්ට පොත් ටිකක් අරන් දෙන එක වගේ දේවල් පවා “ඕවා අපි කරන්න ඕන දේවල් නෙවෙයි; ඒවා ඒ අය ලබාගන්න දැනගන්න ඕන, සමාජ ක්‍රමයේ වරද නිසා අපි ඒකට වන්දි ගෙවන්න ඕන නෑ. මම නම් කාටවත් කිසිදෙයක් දෙන්නේ නෑ. අපිටත් පිරිලා ඉතිරිලා යනවනම් දුන්නට කමක්නෑ” කියලා කියන….
මිනිස්සු ඒ තරම් නරුම විදියට හිතන්නේ කොහොමද කියලවත් තේරෙන්නේ නෑ. ඒ තරම් ආත්මාර්ථකාමී සමාජයක අපි ජීවත්වෙනවද කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් අපි පිටින් කොයිතරම් ඔපවත් වුණත්, ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳලා පැලඳලා හිටියත් අපේ හිත්වල තියෙන්නේ මේ තරම් ජරාජීරණ වුණු අදහස් නම් අපිට බෑ කවදාවත් සතුටින් ජීවත්වෙන්න.
සතුට කියන දේ තියෙන්නේ අපේ අතමානයේමයි. ඒක ලබාගන්න අපි දැනගන්න ඕනෑ. ඒක උපයගන්න පුළුවන් වෙන්නේ ලොකු දේවල්වලින් නෙවෙයි; පොඩි පොඩි දේවල්වලින්. යමක් දීලා සතුටු වෙන්න පුළුවන් හිතක් නම් ඔයාට ලැබිලා තියෙන්නේ ඔයා හරි වාසනාවන්තයි.
තව කෙනෙක්ට දෙයක් දෙන්නත් වෙන කෙනෙක් සතුටින් දෙන දෙයක් භාරගන්නවත් දෙපාරක් හිතන්න එපා… නිහතමානී සතුටක සුවඳ කියන්නේ අපි මැරෙනකම් අපි ළඟ තියෙන දෙයක්… වෙහෙසකාරී ජීවිතේ සතුටු වෙන්න තියන චූටි චූටි දේවල් හොයාගමු… එතකොට අපිට දැනේවී අපි ඇත්තටම ජීවත්වෙනවා කියලා…