ජීවිතේ ගලාගෙන යනකොට සතුට, ආදරය වගේ අපිව ජීවත් කරවන බොහොම සුන්දර වූ දේවල් අපි වටේ එකතු වෙනවා. එවන් වූ සුන්දර දෑ තව තවත් ළං කරගන්න අපි උත්සාය කරන්නේ අපේ ජීවිතවලට සතුට උපරිමයෙන් ලබා ගන්න ඒක හේතුවක් වන නිසා. ඒ සතුට ජීවිතේ හැමදාම ළඟ රඳවගන්න, ඒ සතුට විඳින්න අපි කවුරුත් කැමතියි.
නමුත් මිනිස්සු විදියට අපිට සුදුසු යැයි කියන චරිත, සිද්ධි, අවස්ථා හැමදාම එකවගේ ලැබෙනවා කීවොත් නම් ඒ දේට කවුරුත් එකඟ වෙන එකක් නැහැ. ටිකක් හිතලා බලන්න ජීවිතේ ඔබ විවිධ අවස්ථා වලදී, ඇතැම්විට විවිධ පුද්ගලයින් නිසා, එහෙමත් නැත්නම් අපි ඇසුරු කරන ඒ පුද්ගලයින්ගේ සමහර ආකල්ප, සමහර වචන නිසා ඔබ තුළම විශාල කඩා වැටීම් සිදුවෙලා ඇති.
මේ ආකාරයට අපි මුහුණ දෙන එක එක විදියේ ප්‍රශ්න, ගැටලු මගහරින්න පුළුවන්කමක් නෑ. මෙසේ සිදුවන ගැටලු නිසා අපේ මනසේ සැහැල්ලුව එහෙම නැත්නම් හිතේ සතුට කියන දේ නැති වෙලා යනවා.
හිතලා බලන්න, ඒ වෙලාවට ඔබට දැනෙන හැඟීම්, සිතුවිලි මොන වගේද කියලා. ඒ වගේ අවස්ථාවක දී ඔබට ගොඩක් තරහා යන්න ඇති, කේන්ති යන්න ඇති, කලබල වෙන්න ඇති, අනිවාර්යෙන්ම ඔබ හඬන්නට ඇති. අවසානයේ මේ වුන දේවල් එක්ක තමන් විසින් තමන්නට දොස් නගා ගන්නත් ඇති.
මෙවැනි අවස්ථාවලදී සමහර පුද්ගලයෝ ඉන්නවා හිත දුර්වල කරගෙන දිගින් දිගටම ඍණාත්මකව හිතන්න උත්සාය කරන. එතැන දී ඇත්තේම වෙන්නේ අපිට වෙන හොඳ දේ පොඩියටත් නරක දේ ලොකුවටත් පෙනෙන්න පටන් ගන්නවා. ඒ වගේම සමහර අවස්ථාවල දී ඔබ කරපු යම් දෙයක් අසාර්ථක වුණා කියලා, කරන්න යන හැම දෙයක්ම එහෙම වෙනවා කියලා තමන්ව තමන් විසින්ම ලේබල් කරන්න උත්සාහ කරනවා. ඒ වගේ අවස්ථාවල දී වෙන්නේ ධනාත්මක දේවල් පෙනි පෙනී තියෙද්දී වුණත් ඒ දේ අවතක්සේරු කරන්න පටන් ගැනීමයි.
එවැනි අවස්ථාවක දී ඔබට ඔබගෙන් අහන්න ප්‍රශ්න දෙකක් තියෙනවා.
සමහරවිට ඔබ මේ මොහොතේ දී ගෙවන්නේ ඒ වගේ අපහසු කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඇතිවෙන ඍණාත්මක සිතුවිලිවලට ලියලන්න ඉඩ නොදී ඒ මගහැරුණු දේ ගැන තැවි තැවී ඉන්නේ නැතුව ඒ පුංචි කාල පරිච්ඡේදය හොඳ ඉවසීමක් ඇතිව ඔබ ආපස්සට හිතලා තමන්ගේ ආත්ම ශක්තිය තමන් වටා එකතු කරගතහොත් ඒ කඩාවැටීමම ඔබට නැගී සිටීමට ශක්තිය කරගැනීමට ඔබට පුළුවන් වෙයි.
ඒ විරාමය තුළ ඔබේ අරමුණු ගැන නැවත සිතන්න. ඒ තුළින් පුළුවන් වෙයි ඔබේ ජීවිතේ අභියෝග ජය ගන්න අවශ්‍ය නිවැරදි පාර හොයා ගන්න. එතැන දී ඔබට වැටහෙයි ඒ ඉවසීම තුළ ඔබ ගොඩනගා ගන්නා ආත්ම විශ්වාසය ඔබව කොයි තරම් දුරට ගෙන යනවද කියන දේ.
ඒ සඳහා කළ යුතු පළමු පියවර වන්නේ මුලින්ම ඔබ, ඔබ ගැන තදින්ම විශ්වාස කරන්න. ඒ විශ්වාසය තුළින් තමන් කරන කාර්යය ගැන විශ්වාස කරන්න. ඒ විශ්වාසය සමග ඔබට ඉදිරියට යන්න හැකියාව ලැබෙයි. අනිවාර්යයෙන්ම අවසානයේ දී ඔබ දුර්වල කරපු, ඔබව තෙහෙට්ටුවට පත් කරපු ඍණාත්මක සිතුවිලි කොහෙද කියලාවත් හිතා ගන්න බැරි තරමට ඔබෙන් ඈත්වෙලා කියලා දැනෙයි.
ඔබේ මනසේ මුරකරුවා ඔබම වන්න. දුර්වල සිතුවිලි විසිරිලා යන්නට ඉඩ නොදී අගුල් දමා ගන්න. අමතක කරන්නට එපා, එවිට ඔබෙන් ගිලිහුණු ශක්තිය නැවත ඇවිත් ඔබ ඔසවා තියයි ශක්තිමත් පුද්ගලයෙක් විදියට.
රොෂානි බණ්ඩාර
මනෝ උපදේශිකා රබුක්කන