බ්‍රැන්ඩික්ස් පියසේ පිබිදුණු දිනන දියණිය

බ්‍රැන්ඩික්ස් පියසේ පිබිදුණු දිනන දියණිය

ඇය නමින් සඳුනි වෙරෝනිකා ය. සහජ දක්ෂතාවනගෙන් පරිපූර්ණ ඇය බ්‍රැන්ඩික්ස් පවුලට සම්බන්ධ වන්නේ 2018 වසරේදී වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනය සමගිනි. එදා සිට මේ දක්වා ගමනේදී ඇය සිය දක්ෂතා සහ උත්සාහය නිසාම ඉතාමත් හොඳ වෘත්තීය දියුණුවක් ලබමින් සිටින්නී ය. බ්‍රැන්ඩික්ස් පවුලේ සාර්ථක දිනන දියණියක් වන ඇය අද වනවිට පරිසරයට ආදරය කිරීම සම්බන්ධයෙන් තමාවටා සිටින පිරිස තුළ ද ඉතාමත් සුන්දර වෙනසක් කරමින් සිටින්නී ය.
මිනිසා වයසත් සමගින් පරිණත වනවිට සිය වගකීම් යුතුකම් වටහා ගන්නා ලෙසින්ම ඇය ද තමාගෙන් පරිසරයට විය යුතු යුතුකමක් ඇති බව වටහා ගන්නේ 2018 වසරේදී ය. ඇය සිය මෙහෙවර ආරම්භ කරන්නේ තමන් කන පලතුරු වර්ගවල ඇට පැළ කරමිනි. මුලින් පැළ 10 කින් පමණ ආරම්භ කළ ඇගේ සත්කාර්යය අද වනවිට පැළ 200 ක් පමණ එකතුවක් තෙක් වර්ධනය කරගෙන තිබේ. එලෙස පැළ කරන පලතුරු පැළ පන්සල්, පාසල් වැනි පොදු ස්ථානවල පැළ කිරීම ඇය විසින් සිදු කරනු ලබයි. එමෙන්ම පැළ අවශ්‍ය යම් කෙනෙක් වේ නම් ඉතාමත් නිර්ලෝභීව ඇය තමාගේ පැළ එකතුවෙන් ඔවුන් හට පැළ ලබාදීම ද සිදුකරයි. ඒ අනුව 2019 වසරේ පරිසර දිනය වෙනුවෙන් සිය ආයතනයට පැළ ලබාදීමටත් ඇයට හැකි වී තිබේ. මෙම සොඳුරු කර්තව්‍යය සඳහා ඇයට සිය සොහොයුරියගේ සහ සොහොයුරන් කිහිප දෙනෙකුගේද සහයෝගය ලැබෙන බව ඇය පවසන්නේ ඉතාමත් සතුටිනි.
හරිත වියමන නම් තේමාව යටතේ ආරම්භ කරන්නට යෙදුණු ඇයගේ මෙම උතුම් කාර්යය තමන්ට ආත්මීය සැනසීමක් බව ඇය පවසයි. රැකියාවෙන් උපයන මුදලින් සුළු කොටසක් වියදම් කර ඉටිකොළ ගෙන තමන්ට නිවාඩු තිබෙන දිනවලදී පැළ කරන්නේ ඇයගේම දෑතිනි. එලෙස ඇය පැළ කළ පැළ අතර කුඹුක්, මී, කරඳ, රඹුටන්, ජම්බු, දූරියන්, කටු අනෝදා, දෙහි, ඇඹුල් දොඩම්, මා දම් සහ සියඹලා වැනි බොහෝමයක පැළ වර්ග පවතී. එමෙන්ම ඇතැම් සමිති සමාගම් මගින් සිදුකරන රුක් රෝපණ කටයුතුවලදී ද ඇය පැළ ලබාදෙන්නේ කිසිඳු මුදලක් අය නොකරමිනි. එයින් පැහැදිළි වන්නේ ඇය තුළ වන උතුම් පරමාර්ථයයි.
ඇය මෙලෙසින් පැළ ලබාදෙන්නේ පෞද්ගලික පරිභෝජන සඳහා නොවන අතර සමස්ත සමාජයම උදෙසා ය. ස්වභාවධර්මය උදෙසා ය. අවසාන වශයෙන් ඇයගේම වදනකින් මෙම ලිපිය සමාප්ත කිරීම අගනේ ය. “අපි පැළයක් හිටවලා ආදරයෙන් රැක බලාගමු. අපිට ලෝකෙ ලොකු ලොකු දේවල් කරන්න බෑ. ඒත් පැළයක් හරි හිටවලා අපිට දෙයක් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක අපේ යුතුකමක් වගේම වගකීමක්. ඉතින් අපි ඒ වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් පැළයක් සිටවමු” මේ ඇගේ අරමුණයි. බ්‍රැන්ඩික්ස් පියසේ පිබිදුණු ඇය මෙලෙසින් පිබිදුණු විසඳුම් ලොවට තිළිණ කරමින් සිටින්නී ය. මේ එවන් අභිමානවත් බ්‍රැන්ඩික්ස් දරුවන්ගෙන් එක් අයෙක් පමණි.

ඉතින් සඳුනි ඔබගේ මේ උතුම් කර්තව්‍යය තව තවත් දියුණු වේවායි කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *