හිනාවට ඉනාවක් - දෙවැනි වෙඩිල්ල

හිනාවට ඉනාවක් - දෙවැනි වෙඩිල්ල

සිනා වී තර වන්න” එහෙම කිව්වේ හිනා වෙනකොට අපේ ඇගේ තියන හැම ඉන්ද්‍රියක්ම හොඳින් වැඩ කරන නිසාත්, එය ශරීර සෞඛ්‍යයට හොඳ නිසාත් යන කරුණු කාරණා නිසා.

හැබැයි ඇස් රතුවෙන විහිළුවලින් නම් ඒ දේවල් සිද්ධ වෙන්නේ නෑ.

ඇස් රතුවෙන විහිළුත් කරලා, රාජ උදහසටත් අහු නොවී සිටි අති ප්‍රබලම කවටයා වෙන්නේ අන්දරේ…

අන්දරේ ගැන අමුතුවෙන් කියන්න ඔ්නේ නෑනේ. මිනිහා අමුම අමු කවටයා. මොකක් හරි වැඩක් කරලා රජතුමාව තරහ ගස්සනත්, ආපහු හිනා ගස්සනත් අන්දරේට පුළුවන්. අන්දරේ ජීවත් වුන කාලය විදිහට සඳහන් වෙන්නේ කි.ව. 1747 – 1780 දක්වා වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයයි. ගම වෙනේ දකුණු පුදේශයේ දික්වැල්ලයි. උපතින්ම රැගෙන ආ මුඛරි කමත් කවි කීමේ හැකියාවක් අන්දරේ සතුව තිබුණා.

රාජසිංහ රජතුමාගේ සිරියහන් ගබඩාව ළඟම පොකුණක් තිබුණා. මේකේ හිටපු ගෙම්බෙක් හැමදාම රෑට ෆුල් වොලියුම් දාලා කෑ ගහනවා. රජතුමාට නින්දක් නෑ. ඔන්න ඔ්ඩර් එකක් දුන්නා ගෙම්බව හොයන්න කියලා. මොන හෙවිලක්ද? දවල්ට ගෙම්බා මිසින්, රෑට ආපහු සිගින්….

බැරිම තැන රජතුමා රාජ ආඥාවක් නිකුත් කළා.

කීර්තී ශ්‍රී රාජෝතමයානන් වහන්සේගේ නින්දට බාධා කරන මැඩියෙකු සිටි. ඒ මැඩියා අල්ලා දෙන කෙනෙකුට ඉතා වටිනා තැගී බෝග දෙන බවට රාජෝතමයානන් වහන්සේ සැලකර සිටී.

හුඟ දෙනෙකුට මේ පණිවිඩය ඇහුනත්, කවුරුත් වැඩේ බාර ගත්තේ නෑ. මොකද නිකං හරි මැඩියව අල්ලා ගන්න බැරි වුනොත්, රාජ උදහසට ලක්වෙලා දඬුවම් ලැබෙයි කියලා.

අන්දරේටත් ඔය අණ බෙරය අහන්න ලැබුණා…

මෑන් ටිකක් අමුතු විදිහට හිතන කෙනෙක් නේ.

රජතුමා ළඟට ගිහින් කිව්වා මම ඔය ප්‍රශ්නය විසඳන්නම් කියලා.

රජතුමාට හිනා.

දක්ෂ දුනුවායන්, උගතුන්, අයෝමය පුරුෂයන් කාටත් බැරි වුන දෙයක්, කොහොමද මේ කෙසඟ ශරීරයක් තියන අන්දරේ කරන්නේ කියලා රජතුමා හිතුවා. නමුත් ඉතිං වැඩේ වෙන්නත් ඔ්නේ නිසා ඕං… අන්දරේට බාර දුන්නා ගෙම්බට ගේමක් දෙන්න කියලා.

අන්දරෙත් වැඩේට බැස්සා. හැබැයි ඒ හොඳට එළිය තියන දවල් කාලේ නෙමෙයි… මහා රෑ.

දුන්නකුත්, ඊතලයකුත් අතින් අරගෙන, පොකුණ ළඟට වෙලා හිටියා.

ඔන්න ටික වේලාවකින් අර ගෙම්බා එයාගේ ඒක පුද්ගල ප්‍රසංගය පටන් ගත්තා.

අන්දරේ ඉතාම සූක්ෂමව ඒ හඬ එන දිසාව නිරීක්ෂණ කළා. ඊට පස්සේ දුන්නට ඊතලය දාලා නිවැරදිවම අර ගෙඹි හඬ එන පැත්තට තියලා ඇදලා ඇතහැරියා.

ඊතලය වාතය කපා ගෙන බුලට් එකක් වගේ අර ගෙඹි හඬ එන ඉසව්වට ගියා. ඒ ගියත් හරි ගෙම්බාගේ සද්දේ නැවතුනා.

ඒ කියන්නේ ගෙම්බා මරු තුරුලට ගියා.

අම්මෝ රජතුමාට තියන ප්‍රීතිය.

අන්දරේව ගිහින් බදා ගත්තා.

අන්දරේ උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් බං.

රජතුමාට එහෙම කියවෙන්න ඇති.

රජතුමාත් නිකං හිටියේ නෑ.

දුන්නා අන්දරේට මදි නොකියන්න තෑගි.

හැබැයි වටිනම තෑග්ග වුණේ එයාට ලැබුණ නම්බුනාමය. සද්දේ ඇති දිසාවට, නියමිත ඉලක්කයට විද්ද නිසා.

සද්ද විද්ද පලඟ පතිර” කියන ගරු නම්බුනාමය අන්දරේට දුන්නා.

ඔන්න ඔහොමයි ඒ දවස්වල රජවරුන් රට වැසියන්ට සැලකුවේ.

එහෙනම් අපි තවත් ඉනාවකින් ආපහු හමුවෙමු…

මම
සේනක

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *