මනු දැය පුබුදන මනුසත්කාරය

මිනිසතකු ලෙසින් අප ලද මේ ජීවිතය සුන්දරයි. අපි කවුරුත් ආසා ඒ සුන්දර ජීවිතය දුක වේදනාවෙන් තොරව විදින්නයි. නමුත්, ජීවය නම් තණ අග පිනි බිඳු වැන්නේ කියලා තමයි අපි ඉගෙන ගෙන තියෙන්නේ. එයින් කියවෙන ලෙසින් අපි මේ ලබලා තියෙන ජීවිතය කොයි මොහොතක හෝ ගිලිහෙන්න පුලුවන්. ඒ් තමයි සනාතන දහම. නමුත් එලෙසින් ගිලිහෙන්න යන ජීවිතයකට යළි පණ දෙන්න අපට පුළුවන් නම් එය කොතරම් පුණ්‍ය ක්‍රියාවක් ද. කවදත් මනුසත් ගුණදම්වලින් පෝෂිත බ්‍රැන්ඩික් පවුලේ අපි මෙලෙසින් විවිධාකාරයේ හේතු නිසාවෙන් ජීවය යදින ජීවිත දහස් ගණනකට ජීවය දෙන්නට සමත් වෙලා තියෙනවා. ඒ අඛණ්ඩව වසර දහතුනක් පුරාවට රුධිරය පරිත්‍යාග කරමිනුයි. එයිනුත් වසර 10 ක් අඛණ්ඩව පුද්ගලික අංශයේ වැඩිම රුධිරදායකයා වන්නේ අපි.

මෙම සද්ක්‍රියාව සඳහා ලංකාව පුරාම විහිදී සිටින බ්‍රැන්ඩික්ස් මෑණියන්ගේ දූ දරුවන් වන අපි එකාමෙන් සහභාගී වෙන්නේ තවත් ජීවිතයක් රැක ගැනීමේ උතුම් හැඟුම මූලික කරගනිමිනුයි. එයින් පිළිඹිබු වන්නේ පරාර්ථකාමී චින්තනයෙන් යුතුව සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇතිකිරීමට උත්සාහ කරන ප්‍රබෝධමත් බ්‍රැන්ඩික්ස් අපේ, අපේකමයි. ඒ නිසාම මේ වසර දහතුන පුරාවට රුධිර ඒකක තිස් හය දහසකට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරන්නට අපිට හැකිවී තිබෙනවා. ඒ අනුව අපි ජීවිත තිස්හය දසකට වඩා වැඩි සංඛ්‍යාවකට ජීවත් වෙන්න රුකුලක් වෙලා තියෙනවා. 2016, 2017 සහ 2018 වසරවලදී ශ්‍රී ලංකාවේ සෑම රුධිරදායකයින් සියයකගෙන්ම එක් අයෙක් වූයේ බ්‍රැන්ඩික්ස් සාමාජිකයෙක් බවත් සිහිපත් කරන්නේ නිහතමානි ආඩම්බරයකින්. එපමණක් ‌නෙවෙයි, ශීඝ්‍රයෙන් වර්ධනය වන, හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවැසි වන රුධිරය ලබාගැනීම සඳහා වන ඉල්ලුම සපුරාලීම සඳහා සති අන්තය වෙනුවට සතියේ දිනවල මෙම රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන් දියත් කිරීමට අප සමූහය කටයුතු කර තිබෙනවා. එමගින් දින පහක ජීව කාලයක් පවතින රුධිර පට්ටිකාවල කාලය ඉකුත් වීමට පෙර එම සතිය තුළදීම ප්‍රයෝජනයට ගැනීමට හැකි වෙනවා.

මිනිසත්කම පෙරදැරි කරගෙන සිදුකළත් අපගේ මෙම සද් ක්‍රියාව හේතුවෙන් අපි පසුගියදා ඇගයුමට පාත්‍ර වුණා. ඒ 2019/2020 වසර සඳහා ද ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වැඩිම රුධිරදායක ලෙසින්. එම ඇගයුම අප වෙත පිරිනමනු ලැබුවේ ජාතික රුධීර පාරවිලයන සේවය මගිනුයි. දශකයක් එහෙමත් නැතිනම් අවුරුදු දහයක් කියන්නේ සුලු පටු කාලයක් නෙවෙයි. එවන් දීර්ඝ කාලයක් පුරාවට එකම සද්ක්‍රියාව ආය ආයම අඛණ්ඩවම සිදුකරගෙන එනවා කියන්නේ ඉතාමත් බැරෑරුම් කටයුත්තක්.
මේ උතුම් ක්‍රියාන්විතයෙහි කොටස්කරුවෙකු වෙමින් මිලිනවන්නට ගිය ජීවිතවලට ජීවය දුන් බ්‍රැන්ඩික්ස් සාමාජික ඔබ පිළිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. අවසාන වශයෙන් මේ උතුම් සද්කාර්යය තව තවත් වර්ධනය කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකිවේවායි යන ප්‍රබෝධවත් ප්‍රාර්ථනය නිරාමිස සතුටකින් යුතුව ප්‍රාර්ථනා කරමු.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *