පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු

පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු... මට රජ පැටියෙක්...

මිනිස් ලෝකයේ පමණක් නොව, සත්ත්ව ලෝකයේ පවා අලුතෙන් ජීවියෙක් කුස පිළිසිඳ ගැනීම ඉතා සුවිශේෂී සංසිද්ධියක් ලෙස නම් කළ හැකියි. ජීවිතයෙන් ජීවිතයක් හට ගැනීම ඒ තරම්ම අගනා ක්‍රියාදාමයක්. ආදරය හා සෙනෙහස එකට කැටිව නව ජීවියෙක් කුස තුළට පැමිණි බවට දැනගත් දින පටන්, මව සහ පියා යන දෙදෙනාටම පැවරෙන වගකීම් බොහෝ වේ.

දරුවෙක් බිහි කරන්න ඉන්නේ කියන ප්‍රභල සිතුවිල්ලත් එක්ක, අම්මා තමන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා. සුපුරුදු විලාසිත අත්හරිමින්, තමන්ගෙ රුචියට වඩා ගුණ අගුණ බලා ආහාර ගනිමින්, ගමන් බිමන් යෑමෙන් හැකි පමණ වැළකී, පුංචි කැස්සකට කිවිසුමකටවත් ඉඩක් නොදී ඉතාමත් තැම්පත්ව ජීවත් වන්නට අම්මා නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ, නීරෝගී දරු පැටියෙක් මෙලොවට බිහි කරලීමටයි.

ඔන්න ඔය අතරෙ අම්මගෙ ඕනෑ එපාකම් සොයා බලමින්, අම්මගෙ අසීරුතාවයන් මනා සේ අවබෝධ කර ගනිමින්, නිවසේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා අවධානය යොමුකරමින් නිරන්තරයෙන්ම වෙහෙස වන්නේ අන් කිසිවෙකු නොව, ඒ ආදරණීය තාත්තාය.

කුස තුළ මෝරන දරු ගැබ ගැනම සිතමින්, උපදින්නට සිටින දරුවාගේ අනාගතය සැලසුම් කිරීමත්, දරුවාගේ යහපැවැත්ම වෙනුවෙන්ම ඉදිරි කටයුතු සූදානම් කිරීමත් නිසා, දෙමාපිය දෙපළ තරම් ජීවිතාරක්ෂණයක් දරුවෙක්ට තවත් නැත.

ජීවිතයට කොතරම් ගැටලු හා අභියෝග පැමිණියත්, විවිධ හැලහැප්පීම් සමග කෙතරම් අසීරුතාවලට මුහුණ දුන්නත්, දරුවෙක් කුසට ඇතුල් වූ දින පටන්, මුළු ජීවිත කාලය පුරාවටම, අම්මා හා තාත්තා තමන්ගෙ දරුවන් වෙනුවෙන් බොහොමයක් කැපකිරීම් සිදු කරමින්, තමන්ගෙ පහසුව නොබලා වෙහෙසෙමින් කටයුතු කරන්නේ දරුවන්ගෙන් අoශු මාත්‍රයකවත් දෙයක් බලාපොරොත්තු නොවෙමිනි. ඉතින් අන්න ඒ නිසයි, මෙලොව පවතින සුන්දරම බැඳීම, රුධිරගත බැඳීම, ජීවිතේ ඇති තුරාවට නොමැකෙන හදවතේ බැඳීම “මාපිය – දූ දරු” බැඳීම ලෙසින් නම් වෙන්නෙ.

ඉතින් අද මේ අයුරින් සෙනෙහසින් කුසට පැමිණි ආදරණීය බිළිදුන්, හෙට දිනයේදී රජ කරවන්නට වුවමනා මගපෙන්වීම් රැසක් සමගින් ඉදිරියේදී මුණගැසෙමු.

මනෝ උපදේශිකා
අමා සුබසිංහ

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *