“ඔහොම කෑවට බඩ පිරෙනවද? මෙන්න මේකත් කාපං!”
මැගිලින් ආච්චි කාගෙත් හිතවතියයි. උඩවෙල ගලින් පහළට වැටෙන ඉර එළිය මුලින්ම පතිත වන්නේ ඇගේ කඩයට ය. ඒ අනෙකක් නිසා නොව බාල මහලු කොයි කාගෙත් බඩගින්න නිවා දැමුවේ මැගිලින් ආච්චිගෙ කඩයට පින් සිදුවන්නට. මහ ලොකු මිල ගණන් නොමැති මැගිලින් ආච්චිගේ කඩයේ නැති දෙයක් නොමැති ය.
“නැන්දේ මට කොළ කැඳ එකක් එක්ක හකුරු කෑල්ලක් දියංකො!“
“නැන්දේ දිය බත් ටිකක් කතහැකි දුන්නොතින්!
“නැන්දේ මට ඉඳියප්පන් මුලක් දියංකො. තියෙනවානම් හැලප හතරකුත් ඒකත් එක්කම බැඳලා දියං!”
කොයි කාටත් අතේ ඇති ගානට බඩගින්න නිවාලන බොහෝ දෑ එතන විය. මැගිලින් ආච්චිගේ අතීතය දිව යන්නේ දෙවැනි ලෝක යුධ සමයට ය. එකළ කුඩා දැරිවියක වූ ඇය, ඇගේ මතකය අවදි කරන්නේ ජපනුන් රැවටීමට මහ වැවේ දියවර වැහෙන්නම ජපන් ජබර වැවූ ඇගේ සීයාගේ වීර කතා ද මුල් කරගෙන ය. ” ඔන්න ඔහොමයි ඒ කාලෙ අපේ සීයලා ජපන්නු ජබර යායේ ගිල්ලුවෙ.” යනුවෙන් ඇය සෑම විටම ජපන් ප්‍රහාරක ගුවන් යානයන් වැවට වැටීමේ සිද්ධිය ගැන මතක් කරන්නේ මේ වචන එක්කම ය.
ඇගේ පුතුණුවන් මිය යන්නේ අලිමංකඩ ප්‍රහාරයේදී ය. ඇගේ සැමියා මිය යන්නේ සිරෝසීස් රෝගයෙනි. ඇය පිරිමි ළමුන්ට ආදරේ ඒ නිසා වන්නටම ඇති ය. කෙසේ වුවත් හැට ඉක්මවූ ඇය ඉතා කඩිසර තැනැත්තියකි. අඩි හතරහමාරකට වඩා උස නැති ඇය කිලෝ පහනක වුවද හාල් ගෝනියක් වත්තන් කරන් යන්නේ කිසිම අපහසුවක් නැතිව ය. ඇය උත්සහවන්ත තැනැත්තියකි.
“ඔය වයසට ඔය ඇබිත්‍තන් පාන් කෑල්ලක් ගිලල හරි යනවද? අනික ඉගෙනගන්න ළමයි වුණාම හොඳට කන්න ඕනෙ. නැත්නම් කොයින්ද මොළේ පෑදෙන්නෙ. අනික ඔය උඹලගෙ ලේසියට පිටි ගුලි කාලා උඹලත් නිකං පිටි මුට්ටයක් ගානට ඉදිමෙයි. ඔහොම කෑවම බඩ පිරෙනවද? මෙන්න මේකත් කාපං!” කොල්ලො කුරුට්ටෝ බොහෝ දෙනෙක් මැගිලින් ආච්චිගේ කඩේට යන්නේද මේ නිසාම ය.
මැගිලින් ආච්චි කතාවට උපන් හපන් ඇත්තියකි.
“උඹේ දැන් වයස කීයද? ඔය වයසට ඔහොම ඉඳලානම් හරියන්නෑ! අඩුම බතක් මාලුවක්වත් උයන්න ඉගෙන ගනිං!“
“ඔය වයසට ඒ කාලෙදි අපි කසාදත් බැඳලා. උඹලට කියන්න වැව් ඉස්මත්තෙදි උඹලගෙ සීයා මාව නොදකින්න මම ඉස්කෝලේ මහත්තයට සින්න වෙන්නත් ඉඩ තිබ්බා ඕං. උන්දැ හෙන හැඩ ඇති ඉලන්දාරියා. ඒ කාලෙ මාත් හෙන හැඩකාරි දැන් මේ පඩංගු පකිස් ලෑලි කඩේ වගේ උනාට. මං අවුරුදු කුමාරි තරග හිටං දිනලා තියෙනවා. හම්මේ ඒ කාලෙනම්…! උඹ කාලා ඉවරද? “
ඇගේ තොරතෝංචියක් නැති කියවිල්ල මෙලෝ විචාරයක් නැති රේඩියෝවකට වඩා ඇත්තෙන්ම මිහිරි බව ගම්මුන්ගෙ මතයයි.
දිනක් මා දිසා රෝහලට ගොඩ වන්නේ මාගේ ගමේ මිතුරෙකුගේ සුව දුක් විමසීමට ය. රැකියාවත් සමග කටුනායකම පදිංචි වූ මා අවුරුදු ගණනාවකින් ගමට පැමිණ තිබණේ නැත. පියාගේ අභාවයෙන් පසු අම්මා ද මාගේ සහෝදරියගේ නිවසට පිටත් වූයේ ද ගමට පැමිණීමට තිබූ සියලු හේතුන් මකා දමමිනි.
“ආහ්… මේ රෝහණ කොලුවා නේද? ජිනදාස කොලුවගෙ පුතා? අඳුරන්න බැරිද මාව?“
“මේ… මැගිලින් ආච්චි නේද? මට එක පාරටම අඳුරන්න බැරිව ගියා.” එකෙනෙහිම හැරුණු මා එසේ පැවසූවේ මේ ඇයමදැයි යන හිතේ චකිතයද සමග ය.
“ඔව් ඔව් කොලුවෝ. මොකෝ මේ ඉස්පිරිතාලෙ. මම මේ බෙහෙත් ටිකක් ගන්න ආවා. දැන් ඒ කාලෙ වගේ බෑ අපිට දුවන්ඩ කරන්ඩ. පින්නටත් හෙම්බිරිස්සාව.“
“මමත් මේ යාලුවෙක් බලන්න ආවා ආච්චි. සුනිල්… සුනිල්… අර කලු කුමාර මාමගෙ පුතා, අන්තිමයි කියලා දැනගන්න ලැබුණු නිසා බලන්න ආවා. ආච්චි බෙහෙත් ගත්තද?“
“ආහ්… සුනිල් කොලුවා. කුමාර කොලුවගෙ බඩ පිස්සා. ඔව් ඔව් මටත් ආරංචියි කොල්ලට අමාරුයි කියලා. ගිනි වතුර බොන එක පුරුද්දට ගියාම ඔහොම තමයි. හ්ම්… ” ඇය එසේ පැවසුවේ සියුම් හුස්මක් ගනිමිනි.
“ආච්චි දැන් කඩේ කරන්නෙ නැද්ද?” මම ඇසුවේ ඇගේ ව්‍යාකූල මුහුණ වෙනස් කරන අටියෙනි.
“මේ වයසක මට දැන් ඕවා ඔරොත්තු දෙන්නෙ නෑ දරුවෝ. දැන් දෙතුන් දොහක ඉඳන් කඩේ කරේ නෑ මම. කොල්ලගෙ පඩිය තාමත් දෙනවා හමුදාවෙ මහත්තුරු. හිත වාවන්නෑ එව්වා ගන්න ඉතින් මේ බැරිම හින්දයි ගන්නෙ මම. ඉස්සර මං ඒ පඩිය පන්සලට පූජා කරා. දැන් ඒ වගේ පිනක් කරගන්නවත් බෑනෙ දරුවො ලෙඩ එක්ක. රෝහණ දරුවට දරු මල්ලො එහෙම ඉන්නවද? “
“අනේ නෑ ආච්චි අම්මේ… මේ රස්සා එක්ක මොන කසාදද… තව ටික කාලයක් ඉඳලම බලනවා.“
“ඔව් ඔව් එව්වා කරගනින්. කවදාහරි උඹත් තනි වෙනවා මේ මං වගේම. එදාට උඹ ඔය කරන රස්සාවල් උදව්වට එන්නේ නෑ උඹව වත්තන් කරන් යන්ඩ. අනික නාකි වෙච්ච කාලෙක උඹත් එක්ක ඉතුරු වෙන්නෙ උඹට උඹේ එවුන් එක්ක තිබ්බ මතක විතරයි. ඒවා තමයි උඹව අන්තිම කාලෙ ජීවත් කරවන්නෙ. මේ නාකි මං ඕවා කියන්නෙ නිකං නෙමෙයි ඕං…! මං ගෙහුන් එන්නම්. පන්සලට යන්නත් තියෙනවා කඨිනෙකට“
ඇයට වැඳ සමුගත්ත මා බලා සිටියේ හෙමි හෙමින් පිටව යන ඈ දිහා ය. තනි වුණත් තනි නොවුණු ඈ දිහා ය.
– නිර්ණාමිකයා –