ආසියාවේ කලු වෙලඹ නම් විරුදාවලිය ලත් සුසන්තිකා ජයසිංහ උපත ලබන්නේ 1975 වසරේ දෙසැම්බර් මාසේ 17 වැනිදා කොළඹින් කිලෝ කිලෝමීටර් 60 ක් පමණ දුරින් පිහිටි උඩුවක ගමේ දුප්පත් පවුලකට දාව ය. දිළිඳුකම නිසාම සිය ක්‍රීඩා කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමට පවා අපහසුතාවයට මුහුණදීමට ඇයට සිදුවිය.
ඇය සිය මලල ක්‍රීඩා දිවියට රුකුලක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ස්වෙච්ඡා බලකාය හා සම්බන්ධ වූවාය.
1994 සමස්ත ලංකා මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ඇය ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකාය නියෝජනය කරමිනි. එම තරගාවලියේදී ඇය හොඳම ක්‍රීඩිකාවට හිමි කුසලානය දිනා දිනාගැනීමට සමත්වූ අතර ඒත් සමගින් 1994 ආසියානු මලල ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත්වීමට වරම් ලැබුවාය.
100m, 200m කෙටි දුර ධාවන ශූරියක් වන ඇය උපරිම අගය කිරීමකට ලක් වන්නේ 2000 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 200 කාන්තා අංශයෙන් රිදී පදක්කම ලබා ගනිමි. මුලින් ඇය ඒ සඳහා ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවත් එම තරගාවලියේ රන් පදක්කම දිනාගත් මේරියන් ජෝන්ස් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ වරද සඳහා වැරදිකාරිය බවට වරද පිළිගැනීමෙන් අනතුරුව සුසන්තිකා ජයසිංහ හට රිදී පදක්කම පිරිනමනු ලැබීය.
මේ අනුව ඔලිම්පික් පදක්කමක් දිනා ගත් දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වන්නේත්, කෙටි දුර ධාවන ඉසව්වක් සඳහා ඔලිම්පික් හෝ ජාත්‍යන්තර මට්ටමේ පදක්කමක් දිනාගත් පළමු ආසියාතික ක්‍රීඩිකාව බවට පත් වන්නේත් ඇයයි.
එපමණක් නොව 2007 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කම් දෙකක් දිනා ගන්නා ඇය 2007 IAAF ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත් වූවාය.
මෙලෙසින් ඇය 1994 වසරේ සිට 2007 වසර දක්වා වූ කාලය තුළ ඔලිම්පික් තරග, ලෝක ශුරතා තරගාවලි, ආසියානු ක්‍රීඩා තරග, ආසියානු ශූරතාවලි වැනි වූ බොහෝමයක් වූ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලිවලට සහභාගිවෙමින් රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 6 ක් හා ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගනිමින් ලක් මවගේ නාමය ජාත්‍යන්තර මලල ක්‍රීඩා අඹරේ රැව් පිළිරැව් නැංවීමට සිය දක්ෂතාවයන් තුළින් සමත් වූවාය.