“අනේ මට නම් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්”
“මට මේ ප්‍රශ්නවලට මුහුණ දීලා ඇති වෙලා තියෙන්නෙ”
“ඇයි මටම විතරක් මේ තරම් ප්‍රශ්න”
මේ ඔබට මට එදිනෙදා ජීවිතයේදී නිරන්තරයෙන් අහන්න ලැබෙන වචන කිහිපයක්.
ඔබටත් ඒ විදියට හිතෙනවද? එහෙනම් මේ ලිපිය ඔබටමයි.
ප්‍රශ්න කියන්නෙ අපිට ජීවිතය ඉගෙන ගන්න ලැබෙන හොඳ අවස්ථාවක්. මම එහෙම කිවුවොත් ඔබ මාත් එක්ක එකඟ වෙනවද?
ටිකක් අසීරුයි නේද?
එහෙනම් මේ කරුණු ටික ගැන හොඳට හිතන්න. ඊට පස්සේ ඔබටම දැනෙයි ප්‍රශ්න අපේ ජීවිතවලට කොයිතරම් අත්දැකීම් ගොන්නක් එකතු කරනවද කියලා.
අපි ප්‍රශ්නයක් ආපු ගමන් කරන්නේ කලබල වෙන එක. එහෙම නැත්නම් පළමු හැඟීමට ඉඩ දෙන එක. ඒ හැඟීම ගොඩක් වෙලාවට දුක හෝ තරහව මිශ්‍ර හැඟීමක්.
ඔබ මෙහෙම හිතන්න. ඔබට දැන ගන්න ලැබෙනවා ඔබේ යාලුවෙක් ඔබ ගැන යම් හොඳ නැති කතාවක් පතුරවනවා කියලා. එතකොට මේ කාරණය දැනගත්තු ගමන් ඔබට හිතෙන්නෙ ඒ යාලුවට ගිහින් බනින්න. එහෙම නැත්නම් ගහන්න. හැබැයි ඒ ක්‍රියාව කළොත් නම් ඔබට කවදාවත් ඔබේ ප්‍රශ්නය හරියට විසඳගන්න ලැබෙන්නේ නැහැ.
ඒ නිසා අපිට සිද්ධ වෙනවා යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන ටිකක් සිහියෙන් හිතන්න. ඔබට පුලුවන් මේ ප්‍රශ්නය ඇතිවෙන්න හේතු මොනවද කියලා ටිකක් කල්පනා කරන්න. ඔබ නොදැනුවත්වම ඔබ අතින් සිදුවුණ වැරදි පවා ඔබටම අඳුනගන්න ඒක හොඳ අවස්ථාවක් වෙයි. ඉතින් ඊට පස්සේ ඔබට පුලුවන් ඒ හේතු ටික නැති කරගන්න විකල්ප කිහිපයක් හොයාගන්න. ඒ විකල්ප අතරින් හොඳම විකල්පය හොයා ගන්න තරම් ඔබ බුද්ධිමත් වුණොත් ඔබට පුලුවන් හරිම සූක්ෂම විදියට ඔබට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නය ආක්‍රමණය කරන්න.
අනිත් කාරණය තමයි අපි අපේ ප්‍රශ්න කියන්නේ කාටද කියන එක. සමහර වෙලාවට ඔබට තියෙන ප්‍රශ්නය දෙගුණ තෙගුණ වෙන්න ලොකුම හේතුව බවට පත්වෙන්නේ ඔබේ ප්‍රශ්නය කියන්න නිවැරදි කෙනා තෝරගන්න දන්නේනැති එක. ඒ නිසා ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය කියන්න ඕනේ ඔබේ විශ්වාසය රකින සහ ඔබට හොඳ මඟ පෙන්වීමක් කරන්න පුලුවන් කෙනෙක්ට. ඔබට පුලුවන් නම් මනෝ උපදේශකවරියකගේ සහය ලබා ගන්න, ඒ මඟ පෙන්වීම තුළින් පුලුවන් වෙයි ඔබ යායුතු හරිම පාර හොයා ගන්න.
කොයි තරම් ප්‍රශ්නවලට අකමැති වුණත් අපිට හැකියාවක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න. හැබැයි අපි ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය අනුව සතුටින් ඉන්නවද නැද්ද කියන එකත් තීරණය වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න අවශ්‍ය හොඳම අමුද්‍රව්‍ය ටික තියෙන්නේ ඔබ ළඟමයි. හරියට ඒ දේවල් භාවිත කරන තීරණයත් ඔබ සතුයි.
ප්‍රශ්නවලට ඔබව පාලනය කරන්න ඉඩ නොදී ඔබ විසින් ප්‍රශ්න පාලනය කරන්න. ප්‍රීතිමත් ජීවිතයක් සමග අත්දැකීම් ගොන්නක් ඔබට හමුවෙයි.
නදීරා ප්‍රශංසනී
මනෝ උපදේශිකා