දඩ ලියන පෑනෙන්ම කවි ලියන පොලිස් මිතුරා

දඩ ලියන පෑනෙන්ම කවි ලියන පොලිස් මිතුරා

අපි හැමෝම සමාජය තුළ හැසිරෙන්න ඕනේ යම්කිසි නීතියකට අනුකූලවයි. නීතිය විතරක්ම නෙවෙයි; සමාජය තුළදී අපිට අනෙකුත් සාමාජිකයින් එක්ක ගනුදෙනු කරන්න හදවතත් අවශ්‍යයි. නමුත් මේ දෙකම එකවර සමබර කර ගෙන ගොඩක් දෙනෙක්ට ජීවත් වෙන්න හරි අමාරුයි. විශේෂයෙන් නීතිය මුලික කර ගෙන රැකියාවක නියැළෙන පුද්ගලයින්ට. නමුත් ඉළක්ෂ ජයවර්ධන ඒ කුලකයට අයිති වෙන කෙනෙක් නෙමෙයි. ඔහු වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක්. නමුත් අනෙක් පැත්තෙන් තරුණ හදවත් උණුහුමෙන් පුරවන්නට සමත් වෙච්ච තරුණ කවියෙක්. මේ අපි ඔබට ගෙනහැර දක්වන්නේ මේ තරුණ, දක්ෂ කවියා සමඟ ඉඟුරු ටී කෙරූ සංවාදයක්. මේ සංවාදය හරහා කවියට ළෙංගතු ඔබට බොහෝ දෑ ඔහුගෙන් ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා.

රේණුකා :- “ඔබ රැකියාවෙන් පොලිස් නිලධාරියෙක්. ඒ නිසාම ඔබ රටට අත්‍යවශ්‍ය පුද්ගලයෙකු බවට පත් වෙනවා. රටට අත්‍යවශ්‍ය වූ රැකියාවක නියැළීලා ඉන්න ඔබ කොහොමද කවිකමට පුරුදු වුණේ ?”

ඉළක්ෂ :- මම සාමාන්‍ය පෙළ ලිව්වේ 2009 අවුරුද්දේදී. ඒ කාලේ අද වගේ ජංගම දුරකථන භාවිතය ප්‍රසිද්ධ වෙලා තිබුණේ නෑ. මේ නිසා මගේ මිතුරු පෙම්වතුන් පෙම්වතියන් අදහස් හුවමාරු කර ගත්තේ පෙම්පත් හරහායි. මම මුලින්ම කවියට යොමු වුණේ මේ පෙම්පත් නිසයි. මගේ යාළුවෝ ඒ ගොල්ලන්ගේ පෙම්පත්වලට ලස්සන කවි ලියලා දෙන්න කියලා මගෙන් ඉල්ලනවා. මම කවියට දැනුවත්ව හෝ නොදැනුවත්ව යොමු වුණේ මේ හරහායි. මේ කාලෙදි මම කවි කියන දෙයට යොමු වෙන්න තවත් හේතුවක් වුණේ මගේ අයියායි. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක්. ඔහුත් කවි, ගීත එහෙම රචනා කළා. ඒ වගේම අයියා තමන් ලියන කවි පුවත්පත්වල කවි පිටුවලට යැව්වා. පසුව ඔහු ලියන ඒ කවි පුවත්පත්වල පළ වුණාම එම පත්තර පිටු කපලා, ලැමිනේට් කරලා ඔහු කාටත් පේන්න ගෙදර අලවලා, අලංකාර කෙරුවා. ඉතින් මේ කවි ගෙදරට යන එන හැමෝටම පේන නිසා එවා කියවලා ඔහු අගය කරනවා. ඉතින් මේ සිදුවීමත් මා කවි ලියන්න පෙළඹෙව්වා.

මගේ කවියක් මුලින්ම පත්තරේක පළ වෙන්නේ 2014 අවුරුද්දේදී. එදා මං හුඟක් සතුටු වුණා. ඒ පත්තරේ පළ වුණු කවිය මං හැමෝටම වගේ පෙන්නුවා. පසුව මම මුහුණපොත හරහා කවි ලියන්නට පෙළඹෙනවා. සමාජයේ බොහෝ දෙනෙක් කියන්නේ මුහුණුපොත වැඩකට ඇති දෙයක් නෙමෙයි කියලා. නමුත් මම මුහුණුපොත මගේ කවියට වැඩබිමක් කර ගත්තා. මං මගේ නිර්මාණ මුහුණුපොත හරහා එළිදැක්වූවා. මුහුණුපොතේ ඒ කවි කියවපු ලාංකීය සාහිත්‍යයේ ප්‍රවීණයෝ මගේ දුරකථන අංකය හොයා ගෙන මට කතා කරන්න ගත්තා. ඔන්න ඔය අතරෙදි තමයි මං මගේ කවි එකතු කරලා අත්පිටපතක් යැව්වේ ධර්මසිරි ගමගේ අනුස්මරණ නිර්මාණ තරඟාවලියට. මම ඒ තරඟාවලියෙන් පළවෙනි ස්ථානය ලබා ගත්තා. නමුත් මම එම තරඟාවලිය ජයග්‍රහණය කරත් කවි පොතක් එළිදැක්වීමේ මානසිකත්වයෙන් නෙමෙයි හිටියේ. පසුව ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යන සාහිත්‍යකරුවන්ගේ මූලිකත්වය සහ මැදිහත්වීම මත මම “කඩා වැටෙන තරුවක්” කියන මගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළිදක්වනවා. එය රජත පුස්තක සාහිත්‍යය සම්මාන උළෙලෙදී හොඳම කාව්‍ය සංග්‍රහ හතරට සුදුසුකම් ලැබුවා. ඉතින් අවුරුදු 28ක තරුණයෙක් විදිහට මං ආපු මේ ගමන ගැන මට ගොඩක් සතුටු හිතෙනවා. ඒ වගේම මගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය මේ අවුරුද්දේදී එළිදක්වන්න නියමිත වෙලා තියෙනවා.

රේණුකා :- මේ කතාබහෙන් තේරෙනවා ඔබ අපේ රටට, සාහිත්‍යයට සුවිශාල මෙහෙවරක් කරන තරුණයෙක් බව. ඒ වගේම අපේ ආයතනයෙත් සිටිනවා කවියට ළෙංගතු, කවි ලියන තරුණ කිවිඳියන්. ඉතින් ඔබට මේ තරුණ පරම්පරාවට දිය හැකි උපදේශය කුමක්ද ?

ඉළක්ෂ :- අවුරුදු 28ක තරුණයෙක් වුණාට, මම කවි ලියන්න පටන් ගත්තේ මීට අවුරුදු දොළහකට දහතුනකට කලින්. නමුත් වර්තමානයේ ඉන්න අංකුර කවියන් එක රැයකින් ජනප්‍රිය වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම වෙන්නේ යම්කිසි කවීයෙකුගේ කාව්‍ය කෘතියක් කියවා ලබන උත්තේජනය හරහායි. ඒක වැරැද්දක් නෙමෙයි. ඇත්තටම මමත් එහෙමයි කවි ලියන්නට පටන් ගත්තේ. නමුත් මං කියන්නේ එහෙම එක රැයකින් කවියෙක් වෙන්න බලාපොරොත්තු වෙන්න එපා කියලයි. හොඳම උදාහරණයක් විදියට මට මාවත් පෙන්නන්න පුළුවන්. මේ වෙන කොට ලංකාවේ සියලුම විද්‍යුත් නාලිකාවල මගේ වැඩසටහන් විකාශනය වෙලා තියෙනවා. සියලුම පුවත්පත්වල මගේ සම්මුඛ සාකච්ඡා, ලිපි පළ වෙලා තියෙනවා. නමුත් කියන්න සතුටුයි මම ඒ කිසිදු දෙයක් කිසිවෙකුගෙන් බලෙන් ඉල්ලා ගෙන කරවා ගත් දේවල් නෙමෙයි. මගේ මුහුණපොතේ මුලින්ම පළ කරපු කවි කියෙව්වේ දහ දෙනෙක් විතර. නමුත් අද වෙන කොට මගේ කවි දහසක් දෙනා කියවනවා. ඒ තත්වෙට මම ආවේ අවුරුදු ගාණක් තිස්සේ ලියලා ලියලා කැපකිරීම් කරලයි.
තමන් දෙයක් ලියනවා නම් ඒ දේට සාධාරණය ඉබේම ස්වභාවධර්මයෙන් ලැබෙයි. අපි කවියක් ලියනවා නම් මුකුත් බලාපොරොත්තුවෙන් ලියන්න හොඳ නැහැ. කවියක් ලියද්දී මුලින්ම තමන් සුවපත් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ සමාජය සුවපත් කරන අරමුණ තියෙන්න ඕන. ඒ අරමුණ තිබුණාම ඉබේටම මිනිස්සු කවිය වැලඳ ගනීවි. මිනිස්සුන්ට කවි අමුතුවෙන්, බලෙන් දිය යුතු නැහැ. මුලින්ම අපි කවිය ගැන හොඳ අධ්‍යයනයක සිටිය යුතුයි. හොඳ කවියක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපකිරීම් කළ යුතුයි. මේ සියලු දේ හරියට කළාම අපේ කවිය මිනිසුන් වැලඳ ගනීවි.

“කවිය” කියන දේ අපි ලියන්න ඕනේ හදවතට අවංකවයි. අපි වෙනත් අරමුණු හිතේ තියා ගෙන කවියක් ලිව්වොත්, ඒක කියවන කෙනාට “කවියක්” වෙන්නේ නෑ. කවියා මුලින්ම කවියට අවංක වෙන්න ඕනේ. එතකොට කවිය ලෝකයට අවංක වෙයි. ඉතින් මේ වැඩේ ඉතාමත්ම හොඳින් කරන තරුණ කවියෙක් තමා ඉලක්ෂ ජයවර්ධන කියන්නේ. ඉතින් මේ සාකච්ඡාව තුළින් ඔහු පැවසූ වටිනා අදහස් කවියට ළෙංගතු ඔබ හෑමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා ඉඟුරු ටී අපි විශ්වාස කරනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *