“මොන දේ තිබුණත් වැඩක් නෑ හිතේ සතුට නැත්නම්”. මේ වචන ටික ඔබටත් හරීම සමීපයි නේද? මොන විදියේ බලාපොරොත්තු අපේ හිත්වල තිබුණත් අවසානයේ අපි කවුරුත් කැමති සතුට කියන දේ ජීවිතේට ළං කර ගන්න .
පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ සතුට විඳින ආකාරය එක සමාන වෙන්නේ නෑ . සමහර කෙනෙක් උපරිමයෙන්ම සතුටට පත්කරන කාරණා තව කෙනෙක්ට ඒ තරම්ම සතුටට පත්කරන කාරණාවක් නොවෙන්න පුළුවන්. ඒ අතරතුර කෙනෙක්ට හිතෙන්න පුළුවන් සතුට කියන දේ මිල මුදල් මතින් ලබා ගන්න පුළුවන් කියලා. එහෙම නම් මේ ගැන හිතලා බලන්නකෝ.
- ” ඔබට පුළුවන් විශාල මුදලක් දීලා ලොකු වටිනාකමක් තියන සුවපහසු ඇඳක් මිලදී ගන්න. නමුත් ඔබට එයින් සුවදායක නින්දක් නැත්නම්, ඒ නින්ද මුදලට ගන්න බෑ නේද?
- ”එක එක මාදිලියේ බඩුමුට්ටු පුරවලා, කැටයම්වලින් හැඩ වුන ආකර්ෂණීය ගෙයක් හදන්න පුළුවන් වුනාට, ඒ නිවාස තුළ සතුට රැදුණු මිනිස්සු නැතිනම්, එයින් ප්රථිඵලයක් නෑ නේද?
එහෙම නම් ඔබට වැටහෙන්න ඇති සතුට සල්ලිවලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක සහ ඒ වගේම, සතුට කියන්නේ තමන් විසින්ම ගොඩ නඟා ගන්න ඕන පුරුද්දක් කියලා.
එහෙම නම් අපි බලමු, සතුට අපෙන් ගිලිහිලා යන අවස්ථා මොනවද කියලා. හිතලා බලන්න දුකක් හිතට ආවම ඔබේ හිතම අඳුරු වෙලා ඔබ කඩා වැටුණු අවස්ථා ඕන තරම් ඇති. ඒ අවස්ථාවේදී සතුටේ ආලෝකය හොයනවා වෙනුවට ඔබ කරන්නේ අහිමි වෙච්ච ඒ සතුට බාහිර සමාජයෙන් හොයන්න උත්සාහ කරන එක. නමුත් එතනදී ඔබ තවත් අතරමං වෙන්න ඇති…..
එහෙමනම් කොහොමද මේ සතුට රසවත් විදියට අපේ ජීවිතේට ළං කරගන්නේ?
- ඔබ අතීතයේ සහ අනාගතයේ සිරකරුවෙකු නොවී ඔබ වර්තමානයේ ජිවත් වෙන්න. ඒ වර්තමානය හොඳින් විඳගන්න.
- තමන්ට පාලනය කර ගත නොහැකි දේ සිතින් අත්හරින්න.
- ඔබ කරන යම් දෙයකින් ආත්ම තෘප්තියක් ලැබේ නම්, ඔබ එවැනි දේ කරන්න උත්සාහ කරන්න.
- ඔබ නිතැතින්ම සිදුකිරීමට කැමති දේ රැකියාව ලෙස තෝර ගන්න.
- ඔබට ගෞරවය කරන, ඔබව තේරුම් ගන්න පුද්ගලයින් ඇසුරු කරන්න.
අවසානයේ ඔබට වැටහෙයි ඔබේ ජිවිතේ සතුට රඳාපවතින්න ඕන තමන් තුළින්මයි කියලා. හිතට ගන්න. ඔබේ ජීවිතේට සිනහව හා ප්රීතිය උපදවන කිසියම් හෝ දෙයක් කරන්න කොයිම වෙලාවකවත් පරක්කු වෙන්න එපා. හැම දවසක්ම, හැම පැයක්ම ,හැම විනාඩියක්ම විශේෂ දවසක්, විශේෂ පැයක් , විශේෂ විනාඩියක් කර ගන්න. එවිට සතුට ඔබ ළඟම රැඳෙයි.
රොෂාණි බණ්ඩාර
මනෝ උපදේශිකා