මව් පදවිය සහ පිය පදවිය කියන්නෙ ඕනෑම පුද්ගලයෙකුගෙ ජීවිතේට එකතු වෙන විශාල වටිනාකමක් වගේම ගෞරවයක්. දරුවෙක් ලැබුනට පස්සෙ, ඒ දරුවට පුළුවන් හැමදේම දෙන්න තමයි අපි උත්සාහ කරන්නෙ. ඇත්තටම දෙමව්පියන් විදිහට නොකා නොබී හරි දරුවගෙ සතුට වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඔබත් මමත් අපි කවුරුත් සූදානම්.
දරුවන්ව සතුටු කරන්න හිතාගෙන ඔබ කොච්චර නම් දේවල් කරනවද… පොදුවේ ගත්තොත්, දරුවා ආසාවෙන් ඉල්ලන දේවල් අමාරුවෙන් හරි අරන් දෙන්න, දරුවා සතුටු වෙන විදිහට හැමදේම සැලසුම් කරන්න, කොටින්ම අපිට නොලැබුණු හැමදෙයක්ම දරුවට ලබල දෙන්න, අපි අපි ගැන නොහිතා දරුවගේ යහපත ගැනම හිතන්න දෙමව්පියො විදිහට කැපවෙලා ඉන්නවා. ඇත්තටම ඒ කැප කිරීමෙ කිසිම දෝශයක් මං දකින්නෙ නෑ. හැබැයි අප තේරුම් ගත යුතු දෙයක් තියෙනව, ඒ තමා මොන දේ කොහොම කළත්, අපෙන් දරුවට උරුම වියයුතු වටිනාම තෑග්ග….
ඔබ මොකද හිතන්නෙ…? ඔව්… ඔබට විවිධ දේවල් මනසට නැගෙන්න ඇති. ඒ ඔක්කොමත් එක්ක දරුවෙක්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග තමයි “අම්මගෙයි තාත්තගෙයි අතර තියෙන ආදරණීය බැඳීම.” භෞතික වශයෙන් අපි අපේ දරුවන්ට මොනදේ ලබලා දුන්නත්, යම් දවසක දරුවගෙ ජීවිතේට තමන්ගෙ අම්ම සහ තාත්ත අතර පවතින බැඳීම ඍජුවම බලපානව.
අපි බලමු ඒ කොහොමද කියල….
ඕනෑම දරුවෙක්ගෙ ජීවිතයේ පළමු ගුරුවරුන් දෙපළ වෙන්නෙ තමන්ගෙ අම්මයි තාත්තයි. අපට වචනෙන් නොකිව්වට අම්මයි තාත්තයි ආදරෙන් ඉන්නව දකින්න ඕනෑම දරුවෙක් ගොඩක් ආසයි. තමන්ගෙ අම්ම තාත්ත දිහා බලල දරුවත් ආදරේ කරන්න, ආදරේ ලබන්න ඉගෙන ගන්නව. ඒ විතරක් නෙමේ, තමන් අත්දැකපු ආදරණීය දෙමාපිය බැඳීම නිසා අනාගතයේදී දරුවා ඉතා ආදරණීය පුද්ගලයෙක් බවට පත් වෙනවා නිසැකයි.
අම්මා තාත්තා ආදරයෙන් ගොඩ නඟා ගන්නා සාමකාමී පවුල තුළ දරුවන් ඉතා සුරක්ෂිතයි. ඒ සුරක්ෂිත හැඟීම නිසාම දරුවන්ගේ පුංචි හිත් නිදහස් වෙනවා. ඒ නිදහස නිසා, දරුවන්ගේ මානසික මට්ටම ඉතා යහපත් ලෙස වර්ධනය වෙනව වගේම හැකියා කුසලතා වර්ධනය වී දක්ෂ දරුවන් සමාජයට බිහිවෙනවා.
ආදරෙන්, සෙනෙහසින් අම්මා සහ තාත්තා යන දෙපළ ගත කරන ජීවිතය දකින දරුවන් යහපත් සමාජ සබඳතා ඇති කරගන්නට ඉතා දක්ෂ වෙනවා වගේම කලහකාරී නොවී ඕනෑම කෙනෙක් සමඟ සාමකාමීව කටයුතු කරන්න ඔවුන්ට හැකි වෙනවා.
ඒ වගේම, දෙමාපියන්ගේ ආදරය දකින දරුවන් හැමවිටම දෙමාපියන්ට ඉතා සමීප වෙනවා වගේම දෙමාපියන්ට අසීමිත ලෙස ගරු කරනවා. දෙමාපියන්ගෙන් ජීවිතයට ගනු ලබන යහපත් ආදර්ශයන් තුළින් යම් දිනෙක ඒ දරුවන් ද ඉතාමත් සාර්ථක වැඩිහිටියන් බවට පත් වීම සහතිකයි.
ඉතින් දැන් ඔබට වැටහෙනවා ඇති මිල මුදල්වලටත් වඩා “අම්මා හා තාත්තා” අතර පවතින ආදරය කැටිවූ සෙනෙහස තුළින් දරුවාගෙ මුළු ජීවිතයම ලස්සන කරන්න, එළිය කරන්න ඔබට පුළුවන් බව.
සාර්ථක, යහපත් දරුවෙක් සමාජයට දායාද කරන්නට, ඔබේ ආදරණීය බැඳීම හැමදාටම සවිමත්ව පවත්වාගෙන යන්න අමතක නොකරන්න.
ඔබේ නමින් දරුවන්ට දිය හැකි හොඳම ත්‍යාගය එයයි.
මනෝ උපදේශිකා
අමා සුබසිංහ.