මැක්සිම් ගෝර්කි කියන රුසියානු නවකතාකරුවා විටක පවසනවා, “ලෝකය පවතින්නේ හිරුගේ කිරණවලින් සහ මවගේ කිරිවලින්” කියලා. නමුත් මට හිතෙන විදිහට ලෝකය පවතින්න ඒ හේතු සාධක දෙක විතරක්ම මදි. ලෝකය පවතින්න අවශ්‍ය කරන අනෙක් අත්‍යාවශ්‍යම හේතුව වන්නේ දරුවෙක් අම්මාට ලබා දෙන ආදරය; සෙනේහස. නොවිඳිනා දුක් විඳිමින්, දස මසක් කුස තුළ දරා ගෙන ඉඳලා, මෙලොවට ආවයින් පස්සේ ඒ දරුවාගේ කැත කුණු අත ගාලා, ලස්සනට උස් මහත් කරලා, හොඳට උගන්වලා, ලොකු තැනකට දරුවෙක් ගේන්න අපේ අම්මලා සෑහෙන්න කැප කිරීමක් කරනවා. අම්මෙක් දරුවෙක් වෙනුවෙන් කරන ඒ කැප කිරීමට තක්සේරුවක් ලබා දෙන්නට මේ ලෝකේ ඉන්න කිසිම බුද්ධිමතෙකුට බෑ. නමුත් අද වෙන කොට අම්මලා දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම, දරුවනුත් අම්මලා වෙනුවෙන් කරනවද කියන ප්‍රශ්නය මම ඔයාගෙන් ඇහුවොත්, හදවතට අවංකව ඔයා දෙන උත්තරය මොකක්ද ?
මගේ අම්මා වගේම ඔයාගේ අම්මාත් වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරන ගැහැනියක්. සමහරක් විට ජීවන වියදම වැඩි නිසා, පවුලේ පැවැත්මට සවියක් වෙන්න ඈ රැකියාවක නියැළෙනවාත් ඇති. නොයෙක් වර්ගයේ, විවිධ තරාතිරමේ රස්සා කළාට අපේ අම්මලා හැමෝම දරන්නේ එකම වෙහෙස මහන්සිය. ඒ අය වැඩ කරන ගමන් හැමදාම ප්‍රාර්ථනා කෙරුවේ,හැමදාම ප්‍රාර්ථනා
කරන්නේ මං විඳින දුක මගේ රත්තරන් පුතාට,දුවට විඳින්න ලැබෙන්න එපා කියලයි. නමුත් අපිටත් යම් යම් කැප කිරම් අපේ පවුල් වෙනුවෙන් කරන්න දැන් නියමිත වෙලා තියෙනවා. ඒකට කමක් නෑ. ඒත් අපි වෙහෙස මහන්සි වී හම්බ කරලා අපේ අම්මාගේ අතට දෙන සොච්චම වුණත් ඒක එයාට රත්තරන් පොදියක් තරමට වටිනවා. දැකලා තියෙනවාද අම්මගේ අතේ එහෙම නෝට්ටු කොළ කිහිපයක් තියලා ගුලි කරද්දි එයාගේ ඇස් දිලිසෙන හැටි. සමහරක් වේලාවට අපේ අම්මාගේ ඇස්වල කඳුළුත් පිරෙනවා.
හැබැයි මං එහෙම කිව්වට ඇත්තටම අම්මලා අපෙන් මුදල්වලට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ ආදරය; සෙනෙහස. අපි ඉස්සරහ වචනෙන් නොකිව්වට, මුහුණෙන් නොපෙන්නුවට අම්මලා අපේ ආදරය,අවධානය සෑහෙන්න බලාපොරොත්තු වෙනවා. හරියට පුංචි එවුන් වගේ. ඒකයි පොඩ්ඩ බැරි වුණාමත් ඒ අය අපේ ඇඟට කඩන් පනින්න හදන්නේ. නමුත් ඔයා වැඩ ඇරිලා ඇවිත් අම්මා ගාවට ගිහින් තුරුලු වෙලා, බඳා ගෙන, මුහුණට හාදුවක් දීලා “මගේ අම්මට මං ගොඩාක්ක්ක්ක් ආදරෙයි” කියලා කියලා බලන්න. විශ්වාස කරන්න… ඒ තමයි මේ ලෝකේ ලස්සනම තප්පරය.
ඔයාගේ හිත මොකක්ද දැන් දැනෙන්නේ ?ඔයාගේ හිතට දැන් මොකක්ද හැඟෙන්නේ ?
දැන් තේරේනවාද ඔයාට මේ ලෝකය පවතින්න දරුවෙක් අම්මා කෙනෙක්ට දෙන ආදරය අත්‍යාවශ්‍යමයි කියලා ?
“ටික ටික වතුර අර ගෙන පොල් කටුවකට
නාවපු අයුරු මතකයි ඇගේ උකුල මත
අම්මේ ඔබේ පා පියුමන් සිඹින කොට
වැටෙනවා කදුළු මගේ දෑසින් ඔබේ නමට”