ගංගාවක් වී ගලන්න
උල්පත පසුකර…
වැවක් වෙලා නතර වෙන්න
නෙළුම් මලක් යට…
පොත් මිටියකුත් තුරුළු කරගෙන අපි ඉස්කෝලෙ ගිය කාලෙ ගැන තනියම හිතනකොට මට සමහර වෙලාවට මේ කවිය හීනියට මතකෙට එනවා. පොඩි කාලේ විතරක් නෙවේ අදටත් මේ කවිය අපිට හරි ලස්සන පාඩමක් කියල දෙනවා නේද කියල මට හිතෙනවා. ඒ සුන්දර ළමා කාලෙ පහු කරලා අද අපි රස්සා කෙරුවත්, සල්ලි හෙව්වත්, කසාද බැන්දත්, සමහර වෙලාවට අපි තාමත් හිතෙන් පොඩි ළමයි නේද කියලා මට හිතෙනවා.
හැබෑ ජීවිතේ අපි පොඩි කාලේ හිතපු තරම් සුන්දර නැහැ. අපිව කැන්දන් යන්න කවදාවත් රාජ කුමාරයො එන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා ජීවිතේ අමාරුයි කියලා අපිට කොතනකදිවත් අතෑරලා දාන්න බැහැ. ඔයාට සල්ලි නැති වෙන්න පුළුවන්, ඔයාට ආදරේ කරන්න ආදරෙන් බලා ගන්න කෙනෙක් නැති වෙන්න පුලුවන්, ඔයාට නිදහසක් නැති වෙන්න පුලුවන්, හැබැයි ඒ හැමදේම මැද්දෙන් හරි සීරුවට අපිට ගලාගෙන යන්න වෙනවා. මොකද ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ.
ජීවිතේ කියන කන්ද නගිද්දි අමාරු තැන් මහ හුඟක් එනවා. සමහර තැන් වලදි තවත් නම් බෑ කියලා හිතෙන්න පුලුවන්. ඒත් මතක තියා ගන්න ඇත්තටම ජයග්‍රාහකය වෙන්නේ අමාරු තැන් වලදි සටන අතෑරලා දාන කෙනා නෙවෙයි. අන්තිම වෙනකල් සටන් කරන කෙනා.
අපේ ජීවිත ඇත්තටම හරියට ගඟක් වගේ. එක එක තැන් වලින් ගල් පර වල වැදි වැදී යන්න වෙනවා. සමහර තැන් වලදි පරණ ගිය පාර අතෑරලා දාලා අලුත් පාරක යන්න වෙනවා. ඒක තමයි ජීවිතේ කියන්නේ. අපිට අපේ ජීවිතේ සමහර දේවල් පාලනය කරන්න බැහැ. හැබැයි ඒ පාරේ සාධාරණ විදියට ගියොත් කවදහරි දවසක ආපස්සට හැරිලා බලද්දි අපි ගියපු පාර ගැන හදවතින්ම සතුටු වෙන්න පුලුවන්.
ජීවිතේ කියන දේ සුන්දර නැහැ. සුන්දරත්වයක් නැති කර්කශ ජීවිතේ සුන්දර දෙයක් කරගෙන ඒක සතුටක් කර ගන්න පුලුවන් ඔයාටම විතරයි. ජීවිතේ කියන කන්දේ අවසානය නෙවෙයි සුන්දර. තමන් ඒ අවසානය හොයාගෙන යන ගමන. ඒ මුළු ගමන පුරාවටම ඔයාට සතුටින් යන්න පුලුවන් නම් අන්තිමට ජීවිතේ කදු මුදුනට නැග්ගහම ඇත්තටම මම ජීවිතේ දිනුවා කියලා ඔයාට හිතේවි.