ආලෝකයේ උල්පත

ආලෝකයේ උල්පත

පාට සරුංගල් මල් පෙති සිහින දැකපු අම්මා

කුසේ දැරූ බිලිඳු රුවට ජීවය දුන් අම්මා

ආහාර අරුචි වී  අකැපව ගිලන් වූවත් අම්මා

හැම දුක් සයුරට දී බිලිඳෙකු බිහි කළ අම්මා

 

කල වයසෙදී තක්සලාවේ සෙවණට යැවූ අම්මා

දරු කුස පිරෙනා තෙක් හාමතට ළැදි වූ අම්මා

තම දෙනෙතට සම ලෙස දරුනට සැලකූ අම්මා

ඒ හැමටම සෙනෙහස එක ලෙසටම දුන් අම්මා

 

සේවය කෙරුවත් අට පැය නිම වූ විට අම්මා

නිමේෂයෙන් බර පොදි ගෙන ගෙපැලට වන් අම්මා

ලැබුණත් අහරක් නොබුදින සඟවා එය අම්මා

දරුවන් මුව තුළ සැරසුවේ දසන් විදා අම්මා

 

නිසි වයසෙදී කුල ගෙට යන  මග සැරසුවේ අම්මා

මුනුබුරු මිනිබිරි  ඇසුරෙන් නෙත පිනවූ අම්මා

ඒ දරුවන්ගෙත් මව ලෙස යුතුකම් කළ අම්මා

ගත වැහැරී දුබල බවට ඉඟි පළ කළ අම්මා

 

සැවුල් නදට පෙර පිබිදී මෙහෙවර කළ අම්මා

රෑ දහයේ කණිසමටත් නෙත නොපියන අම්මා

දරුවන්ටම කය වෙහෙසා ගිලන් වූවත් අම්මා

දරු කැලටම ඇති සෙනෙහස අඩු නොකරයි අම්මා

Facebook