තව කාලයක් ජීවත්වෙමු .....

තව කාලයක් ජීවත්වෙමු .....

මේ ගෙවෙන්නේ ඔබවත් මමවත් ජීවිතේ කිසිම දිනයක අත්නොවිඳි විදියේ අත්දැකීම්  ලැබෙන කාලයක්. ජීවත්වුණු දශක කිහිපය ඇතුළේ මේ තරම් ජීවිතය ගැන අවිනිශ්චිතතාවකින් අපි කවුරුවත් කලින් ඉඳලා නැති බව මට විශ්වාසයි. මේක හතුරෙක්ගෙ වෙඩි පහරකට අහුවෙලා මියයනවා හෝ හදිසි ගරිල්ලා ප්‍රහාරයකට අහුවෙනවා වගේ දෙයක් නෙවෙයි…අපිට ඉන්න වෙලා තියෙන්නේ නොපෙනෙන දේකට බයෙන්….
 
මේ දවස්වල කොහොමද ඔයාට කියලා අපි කාගෙන්වත් අහන්නේ නෑ… මොකද හැමෝගෙම තත්ත්වය එක වගේ කියන දේ අපි දන්න නිසා. ඒත් තව කාලෙකට පස්සේ අපේ තත්ත්වය මෙහෙමයි කියලා කියන්න නම් අපිට පුළුවන් වෙයි. ඒ අපි මේ වෛරසයට එරෙහිව දෙයක් කරන්න යම්කිසි උත්සාහයක් ගත්තොත්.
 
මුලින්ම කරන්න ඕන දේ අපි ඇත්තටම මේක ගැන බැරෑරුම්ව හිතන එක. ඒකෙන් අදහස් කරන්නේ අපි හැම වැඩක්ම අතෑරලා දාලා මේක ගැන කල්පනා කර කර ඉන්න එකනම් නෙවෙයි. අපි අපේ සහ සමීපතමයන්ගේ ජීවිතවලට වගකියන්න ඕන කියන පණිවිඩේ හැමවෙලේම කල්පනාවට අරන් තියාගන්න ඕනෑ. ඒකට දැන් අපි පරක්කු වැඩියි කියලා හිතනවනම් ඒ අය තමයි මේ වගේ වෙලාවේ සමාජීය වශයෙන් විශාලම වෛරස වෙන්නේ.
 
කාන්තාවන් විදියට මේ වගේ වසංගත කාලෙක අපිට තියන වගකීම අනිත් හැමදේකටම වැඩිය වැඩියි. ඔබ පිරිසිදුකම ගැන අටුවාටීකා අනවශ්‍ය කාන්තාවක් නම් මේ අවස්ථාව පසුකරන්න ඔබට අවශ්‍ය තරමටත් වඩා සුදුසුකම් තියෙනවා. වසංගතය ඇඟට එයි කියලා එදිනෙදා දේවල් පාඩු කරගෙන, වැඩට ගෙන්වා ගන්නවා කියලා තමන් හරිහම්බකරගන්න ආයතනයට බැන බැන හැංගුණාට මේ ගැටලුවට විසඳුමක් එන්නේ නැහැ. අපි කවදා වෙනකම් කියලා මෙහෙම හැංගෙන්නද…
 
වෛරසය ඇඟට එන්න කලින් කරන්න තියෙන දේවල් ගැන මාධ්‍යවල හැමවෙලේම කියන නිසා අපි ඒවා ගැන කතා කරන්න ඕනෑ නෑ. ඒත් මේ කාලය ඇතුළේ අපි අපේ මානසික සෞඛ්‍ය ගැන පුළුවන්තරම් අපි සැලකිලිමත් වුණොත් වසංගතයෙන් පස්සේ වුණත් අපේ පවුලට, රැකියාව කරන ආයතනයට වගේම සමස්ත ලංකාවටම ඒ හයිය විශාල ශක්තියක් වේවි. ගෙදර අනිත් අය එක්ක එකතුවෙලා අරපිරිමැස්මෙන් වැඩ කරන්න, එළියට ගිහින් ගෙදරට එද්දි වෛරසය රැගෙන නොඑන විදියට අවශ්‍ය ක්‍රමවේද පිළිපදින්න සකසුරුවමක් කාන්තාවක් වුණු අපිට තියෙන්නම ඕනෑ… ඔබ ගර්භනී විය හැකියි, ඔබ කිරිදෙන මවක් විය හැකියි, එසේත් නොමැතිනම් එවන් සහෝදරියක් ඔබේ නිවසේ සිටිය හැකියි…එවිට ඔබේ වගකීම තවත් වැඩිවෙනවා. තමන්ගේ ආරක්ෂාව වගේම ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාවෙත් වගකීම තියෙන්නේ අපේ අතේ…සංචරණ සීමා රජයෙන් දාලා තිබුණට සංචරණ සීමා තියෙන්න ඕන පුද්ගලිකව තම තමන්ගේ හැසිරීම්වල… අපි ඒවා තනියම දාගන්න ඒවා වෙන්න ඕනෑ. පරිස්සමයි වැදගත්. අවබෝධයෙන් පරිස්සම් වෙමු…මොකද තව ජීවිතේ අපි දැකපු දේවල්, විඳපු දේවල් බොහොම ටිකයි. කොටින්ම අපි තව කාලයකි ජීවත්වෙමු….

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *